free web stats

ලුමාලා සමාගම වැසී යාමේ අවදානමක්

දකුණු ආසියාවේ ප්‍රමුඛතම පාපැදි නිෂ්පාදන සමාගමක්වන ලුමාලා සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම වැසී යාමේ අවදානමක් මතුව ඇති බවට එහි සේවකයෝ කණස්සල්ල පළ කරනවා.

දශක පහකටත් වැඩි කාලයක් පුරා මෙරට ප්‍රමුඛ සමාගමක් ලෙස නමක් දිනා සිටින පානදුර පිහිටි ලුමාලා පාපැදි නිෂ්පාදන සමාගම, ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ අසාධාරණ වෙළෙඳපොළ තත්ත්වයන් හේතුවෙන් මෙසේ වැසී යාමේ අවදානමකට මුහුණ පා තිබෙනවා.

සමාගමේ කළමනාකාරීත්වය මේ වනවිටත් කොටස් වශයෙන් සමාගමේ වැඩකටයුතු නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි ක්‍රොමියම් ප්ලේට් නිෂ්පාදනාගාර කිහිපය අතුරින් එකක්වන ලුමාලාහි ක්‍රොමියම් ප්ලේට් නිෂ්පාදනය නවතාලීමටත් වානේ රිම් නිෂ්පාදන ඒකකය සමාප්ත කිරීමටත්, සමාගම කටයුතු කර තිබෙනවා.

ඉදිරියේදී, ෆෝර්ක් සහ මඩ්ගාඩ් නිෂ්පාදනය, ඇලෝ රිම් නිෂ්පාදනය, ෆ්‍රේම් නිෂ්පාදනය සහ පින්තාරු නිෂ්පාදන ඒකකය ඇතුළු අංශ ගණනාවක් වසා දැමීමට සිදුවනු ඇත. ඊට මුහුණ දීමට ඉතාම කඩිනම් පියවර ගත යුතුයි.

දශක දෙකකටත් වැඩි කාලයක් පුරා ලුමාලා සමාගම වෙනුවෙන් සේවය කළ සේවකයින් දැන් තමන්ගේ රැකියාව අහිමි වීමේ අවදානමකට මුහුණපා සිටිනවා යනුවෙන් ලුමාලා කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරී රන්ජිත් සිරිවර්ධන මහතා පැවසුවා.

මෙම අර්බුදයට බලපෑ ප්‍රධාන අභියෝග කිහිපයක් ද ලුමාලා සේවකයෝ පෙන්වා දුන් අතර ඔවුන් පෙන්වා දෙන ආකාරයට නිසි නියාමනයකින් තොරව සිදුකෙරෙන පාපැදි සහ විද්‍යුත් පාපැදි ආනයනයට ඊට එක් හේතුවකි. එමෙන්ම ඇතැම් වෙළෙඳ ආයතන, පාපැදි අමතර කොටස්, පාපැදි නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙස හුවාදක්වමින් රේගු බදු සහ වැට් බදු වංචා සිදු කරමින් විශාල ලෙස ලාභ ඉපැයීමටත්, ඉතාම අවම මිලගණන් යටතේ එම පාපැදි වෙළෙඳපොළට නිකුත් කිරීමටත් පියවර ගෙන ඇත. එමෙන්ම ඉතාම අවම මිල ගණන් යටතේ මෙරටට පාපැදි ආනයනය කිරීමට අවස්ථාව තිබියදී දේශීය නිෂ්පාදන සඳහා සපයා ගන්නා අමද්‍රව්‍ය වෙනුවෙන් ඉහළ බදු පනවා තිබේ. එහිදී නිෂ්පාදන පිරිවැය ඉහළ යන අතර, දේශීය ව්‍යාපාරවල තරගකාරීබව ද පහළ යයි. මෙය ලුමාලා වැනි ආචාරධාර්මික ගුණ ආමන්ත්‍රණය කරන සමාගමක පැවැත්මට අභියෝගයක්වන අතරම, එය රජයට විශාල බදු ආදායමක් අහිමිවීමක් ද සිදු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *