free web stats

ශුරයන්ගේ ශූරතාව ජයගත් ඉන්දියාව

ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ විශිෂ්ට පිතිහරඹයත්, ඉන්දීය දඟ පන්දු බළඇණියේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් 2025 ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව තෙවැනි වරටත් දිනාගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (09 දා) රාත්‍රියේ සමත්විය. ඒ ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැති අවසාන මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමිනි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියක ශූරතාවයේ පහස විඳගත්තේ 2013 වසරෙන් පසුවයි.

පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව, කණ්ඩායම් 8ක් පාකිස්තානයේ සහ ඩුබායිහිදී උරෙනුර ගැටුණු මෙවර ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ගමනක් ආ ඉන්දියානු කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්වන්නට නවසීලන්තය සමත්විය.

2000 වසරේදී ක්‍රියාත්මක වූ ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් තරගය ප්‍රතිනිර්මාණය කරමින් තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක මිචෙල් සැන්ට්නර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 251ක් ලබාගැනීමට සමත්විය.

පළමු කඩුල්ලට ලකුණු 57ක සාර්ථක සබඳතාවක් ගොඩනැඟූ නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ විල් යංග් සහ රචින් රවින්ද්‍ර නවසීලන්තයට සාර්ථක ආරම්භයක් ලබා දුන්නද, කිවියන්ගේ කඩුලු 4ක් ලකුණු 51ක් තුළ ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දීය දඟ පන්දු යවන්නන් සමත්විය. කෙසේ වුවද ඩැරල් මිචෙල් ලබාගත් ලකුණු 63 සහ මයිකල් බ්‍රේස්වෙල් නොදැවී ලබාගත් ලකුණු 53 හමුවේ නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 251ක් වැනි ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් වෙත රැගෙන යෑමට සමත්විය.

ලකුණු 252ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පළමුව පිටියට පිවිසි නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් එක්ව ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 105ක සබඳතාවක් ගොඩනැඟුවේ ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. ඒ අතරවාරයේදී නායක රෝහිත් ශර්මා සිය එක්දින දිවියේ 58 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත්වීම ද විශේෂ සිදුවීමක් විය. එම සබඳතාව බිඳවැටුණේ ලකුණු 31ක් ලබාසිටි ශුබ්මන් ගිල්ව දවාගැනීමට ලොව විශ්මිත පන්දු රකින්නකු ලෙස නම් දරා සිටින ග්ලේන් පිලිප්ස් ලබාගත් විශිෂ්ට උඩපන්දුවත් සමගිනි. ඉන්දීය කණ්ඩායමේ විශිෂ්ට පිතිකරුවකු වන විරාත් කෝලිව 1කට සහ නායක රෝහිත් ශර්මාව ලකුණු 76කට දවාගත් නවසීලන්ත පන්දු යවන්නන් තරගයේ ජය තමන් වෙත හරවා ගැනීමට උත්සහා කළද, ප්‍රබල ඉන්දීය පිතිකරණ බලඇණිය පන්දු වාර 49ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 254ක් ලබාගනිමින් මෙවර ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ කිරුළ තමන් සතුකර ගැනීමට සමත්විය.

ඉන්දියානු කණ්ඩායම ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියක ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙය බවට පත්විය.

තරගයේ වීරයාට හිමි සම්මානය ඉන්දීය නායක රෝහිත් ශර්මා විසින් දිනාගත් අතර තරගාවලියේ වීරයාට හිමි සම්මානය නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන රචින් රවින්ද්‍රට හිමිවිය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ඩැරල් මිචෙල් ලකුණු 63ක්, මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 53ක්, ග්ලේන් පිලිප්ස් ලකුණු 34ක් සහ රචින් රවින්ද්‍ර ලකුණු 37ක් ලැබීය.

පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් ලකුණු 40කට කඩුලු 2ක් සහ වරුන් චක්‍රවර්ති ලකුණු 45කට කඩුලු 2ක් දවාලීය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී රෝහිත් ශර්මා ලකුණු 76ක්, ෂෙයාර්ස් අයියර් ලකුණු 48ක්, කේ. එල්. රාහුල් ලකුණු 34ක් සහ අක්ෂර් පටෙල් ලකුණු 29ක් ලැබීය.

පන්දු යැවීමේදී මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 28කට කඩුලු 2ක් සහ මිචෙල් සැන්ට්නර් ලකුණු 46කට කඩුලු 2ක් බිඳහෙළීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *