free web stats

චමරි අතපත්තු ශ්‍රී ලංකාව කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයයි

මල්කි මදාරාගේ සහ ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ විශිෂ්ට පන්දු යැවීමත්, නායිකා චමරි අතපත්තුගේ නායකත්වයේ පිතිහරඹයත් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි – 20 තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූවා.

ඊයේ (14 දා) හැග්ලි ඕවල්හිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කාන්තාවන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 101ක් පමණි.

ඒ අනුව ලකුණු 102ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තාවන් පන්දු වාර 14යි පන්දු 1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 102ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්වූවා.

ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි – 20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා කාන්තාවන්ට අවකාශය ලැබිණි.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී එමා මැක්ලෝඩ් ලකුණු 44ක්, නායිකා සුසී බැට්ස් ලකුණු 21ක් සහ ජේස් කීර් ලකුණු 10ක් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මල්කි මදාරා ලකුණු 14කට කඩුලු 3ක්, කවීෂා දිල්හාරි ලකුණු 18කට කඩුලු 2ක්, ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 25කට කඩුලු 2ක්, සුගන්දිකා කුමාරි සහ නායිකා චමරි අතපත්තු 1කඩුල්ල බැගින් බිඳහෙළීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විශිෂ්ට ඉනිමක් දියත් කළ නායිකා චමරි අතපත්තු පන්දු 48කට මුහුණදෙමින් හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 64ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට අමතරව කවීෂා දිල්හාරි ලකුණු 12ක් සහ නිලක්ෂිකා ද සිල්වා නොදැවී ලකුණු 12ක් ලැබීය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ජේස් කීර් ලකුණු 18කට කඩුලු 2ක් දවාලීය.

පන්දු යැවීමේදී ලකුණු 14කට කඩුලු 3ක් දවාලීයට සමත්වූ මල්කි මදාරා තරගයේ වීරවරියට හිමි සම්මානය දිනාගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *