ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අය කිරීමට ගත් තීරණයට ඇති අකමැත්ත
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පෙත්සම ඊයේ කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු මඬුල්ල නියම කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වැනිදා කැඳවන ලෙසයි.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයන්, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ 1983 වසරේ ශ්‍රී ලංකාවට ටෙස් ක්‍රිකට් වරම් හිමිවීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රිකට් කරන ජාතික ක්‍රිඩකින් සමග ලිඛිත ගිවිසුම් අත්සන් කිරීම සිදුවුණේ 1996 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව බවයි.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් ජනවාරි මස 17 වනදා රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතව ජාතික තලයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් එම ආයතනයේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයන් වශයෙන් වර්ගීකරණය කිරීමට තීරණය කළ බවයි.
එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් ජාතික තලයේ ක්‍රීඩකයන් කිසිදු අවස්ථාවක සේවක අර්ථසාධක අරමුදලේ හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඇතුළු අරමුදල්වල සාමාජිකයන් නොවන බවත් කියා සිටියා.
ඔවුන්ට එවැනි හිමිකම් නොමැති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.
මීට අදාළව තමන් නීති විශාරදයන්ගෙන් නීති උපදෙස් ලබාගත් බවත් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීනව සේවා සපයන්නන් මිස එහි සේවකයන් නොවන බවට තමන්ට නීති උපදෙස් ලැබුණු බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.
එම තත්ත්වය යටතේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවත් මේ හේතුවෙන් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැඩි අගතියක් සිදුවී ඇති බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා.
ඒ අනුව ජාතික තලයේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් සේ වර්ගීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය හා ඒ මත ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥා නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.