සජබ-එජාප-පොහොට්ටුව පාතාල කල්ලි 10ක් සමඟ සබඳතා
මෙරට ක්‍රියාත්මක ප්‍රධාන අපරාධ කල්ලි 10ක් සමඟ පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ප්‍රබල දේශපාලකයන් සහ ප්‍රාදේශීය දේශපාලකයන් සම්බන්ධතා පවත්වන බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළා.
මේ වන විට එම සබඳතා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් එලෙස සම්බන්ධතා පවත්වන පිරිස අත්අඩංගුවට ගන්නා බවත් එම තොරතුරු පාර්ලිමේන්තුවට අනාවරණය කරන බවත් අමාත්‍යවරයා පැවසූවා.
පාතාල කල්ලිවල අපරාධ වර්ධනය වීමට මෙම දේශපාලන සම්බන්ධතා දැඩිව බලපා ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාතාල මර්දනය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් ද ඇමැතිවරයා විසින් මෙහිදී සිදු කළා.
පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා හමුදාවෙන් පලා ආ පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් මේ වන විට තුන්දහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් පැවසූ ඇමැතිවරයා පාතාලයේ ගිනිඅවි 1278ක් පොලීසිය භාරයට ගැනීමට හැකි වූ බව ද සඳහන් කළා.
සංවිධානාත්මක අපරාධ කල්ලි පිළිබඳ විධිමත් පරීක්ෂණ ආරම්භ කර සැකකරුවන් 216ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ වන විට අපරාධ වැඩි වශයෙන් සිදුවන පොලිස් කොට්ඨාස 52ක් හඳුනාගෙන ඇති අතර එම පොලිස් කොට්ඨාස ආවරණය කරමින් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් 15ක් යොදවා ඇති බවත් පැවසූවා.
දිවයින පුරා මත්ද්‍රව්‍ය විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම, පොලිස් මෙහෙයුම් වැඩි කිරීම, අපරාධකරුවන් සම්බන්ධ දත්ත යාවත්කාලීන කිරීම, ඒ සඳහා තාක්ෂණය යොදා ගැනීම, විදේශගතව සිටින අපරාධකරුවන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීම, නාවික හමුදාව හා එක්ව රට වටා සමුද්‍ර ආරක්ෂාව තර කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීම වැනි විශේෂ මෙහෙයුමක රජය නිරතව සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය. පාතාල කල්ලි අතර සිදුවන මරා ගැනීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත් ඇමැතිවරයා පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේ ද පැවසූවා.
“පාතාල කණ්ඩායම් අතර දිගින් දිගටම සිදුවන මෙම වෙඩි තැබීම් හේතුවෙන් ජීවිත ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා. ඒක අපි මීට පෙරත් ප්‍රකාශ කර තිබෙනවා. පාතාල කණ්ඩායම් අතර සිදුවන මරා ගැනීම් නිසා සිදුවූ මියයෑම තමයි වැඩි වශයෙන් සිදුව තිබෙන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ මෙය සංකීර්ණ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී තිබෙනවා. රට පැවැතුණේ සරල සමාජයක් ලෙස නොවෙයි, අපරාධකාරයන්ගේ දේශයක් ලෙසයි. මේකේ සංකීර්ණ බව මොනතරම්ද කියනවා නම් දේශපාලන පක්ෂ පවා සම්බන්ධ බවට වාර්තා වෙනවා. බුද්ධි අංශ අනාවරණය කරන පරිදි ඒ පිළිබඳ පොලිස් විමර්ශන සිදු කිරීමෙන් පසුව මේ සභාවට මම හෙළි කරන්න කැමතියි.
පාතාල අපරාධ සඳහා ත්‍රිවිධ හමුදාවෙන් ආ පිරිස් යොදා ගන්නවා. ඒ නිසා අපි මේ වෙනුවෙන් පිළියමක් ලෙස අපරාධ මර්දනය වෙනුවෙන් ඔවුන් අත්අඩංගුවට ගනිමින් සිටිනවා.
මේ වෙනකොට තුන්දහසක විතර පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පසුගිය කාලෙදී සමහර කඳවුරුවලින් ආයුධ මේ පාතාල කල්ලිවලට දී තිබෙනවා. මේවා සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙනවා. අපි බලයට පත් වුණාට පසුව ගිනිඅවි 1278ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වගේ මෙහෙයුම් විශාල ප්‍රමාණයක් සිදු වෙනවා. සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් කඩිනම් විධිමත් විමර්ශන සිදු කෙරෙනවා. 216ක් වැනි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදුවීමක් සිදු වූ වහාම දිනක් දෙකක් වගේ කාලයක් තුළ අදාළ පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වෙනකොට අපරාධ සිදුවන පොලිස් ස්ථාන 52ක් හඳුනාගෙන තිබෙනවා.
ඒ පොලිස් ස්ථාන හඳුනා ගනිමින් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් 15ක් මෙම මෙහෙයුම් වෙනුවෙන් යොදවා තිබෙනවා. ඒ මෙහෙයුම් සඳහා ක්‍රියාමාර්ග රැසක් අරගෙන තිබෙනවා. රට පුරා මෙහෙයුම් සිදු වෙනවා. දිවා රාත්‍රී මුර සංචාර සිදු කරනවා. ජංගම සංචාර, හදිසි මාර්ගබාධක යොදා පරීක්ෂා කිරීම් සිදු කෙරෙනවා. ස්ථිර මාර්ගබාධක යෙදවීම, බුද්ධි නිලධාරීන් යොදවා බුද්ධි තොරතුරු ගැනීමත් සිදු කරනවා. සාමාන්‍ය පොලිස් රාජකාරි විශේෂ අධික්ෂණයක් යටතේ සිදු වෙනවා.
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් මෙන්ම එම ක්‍රියාවන් වැළැක්වීම ඒ සම්බන්ධ තොරතුරු රැස් කිරීම, මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ආදිය එක්ව කටයුතු කරනවා. ඒකාබද්ධ වී විශේෂ කාර්ය සාධක බළකායක් ඇති කර තිබෙනවා. ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිළිබඳ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් යාවත්කාලීන කරමින් පවත්වාගෙන යනවා. ඒ වගේම ඇඟිලි සලකුණු පද්ධතිය යාවත්කාලීන කරනවා. ඒ වගේම විදේශගතව සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ලබාගෙන තිබෙනවා.
ගුවන්තොටුපොළ තුළ ස්වයංක්‍රිය ලෙස මුහුණු හඳුනා ගැනීමේ යන්ත්‍ර සවි කර තිබෙනවා. බන්ධනාගාරය තුළ සිදුවන අපරාධ වැළැක්වීම සඳහා රැඳවූවන් බැලීමට එන අය වෙනුවෙන් වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. බන්ධනාගාරය තුළින් සොයා ගන්නා ජංගම දුරකතන අධ්‍යයනය සඳහා බුද්ධි අංශ වෙත දී තිබෙනවා. අපරාධවලට සම්බන්ධ වන පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ වගේම මීට අදාළ විවිධ ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කරනවා. විශේෂයෙන්ම නාවික හමුදාව වැනි ආයතන සමඟ එක්ව මුහුදේදී සිදුවන ජාවාරම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. ඒ වගේම විශේෂ කාර්ය බළකාය මඟින් විවිධ මෙහෙයුම් සිදු කරනවා.
විදේශගත සැකකරුවන් මෙරටට ගෙනඒම වෙනුවෙන් ඒ ඒ රටවල් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කඩිනම් කර තිබෙනවා. විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය සමඟ එක්ව රතු නිවේදන ලබා ගැනීමේ කටයුතු මේ වන විට අවසන්. මෙම අපරාධ සම්බන්ධයෙන් නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා විවිධ පුහුණු වැඩසටහන්වලට යොමු කර තිබෙනවා. අපරාධ මර්දනයේ නිරත නිලධාරීන් අභිප්‍රේරණය සඳහා තෑගි දීම සිදු කරනවා. මිලියන දාහක් ඒ වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ වගේම අවි ආයුධ අත්අඩංගුවට ගන්නා නිලධාරීන් වෙනුවෙන් ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මකයි.
සතියකට වරක් අදාළ අංශවල නිලධාරීන් සමඟ සාකච්ඡා කරනවා. ඒ වගේම සංවිධානාත්මක අපරාධ මර්දනය වෙනුවෙන් විශේෂ නීති සකස් කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. ජාත්‍යන්තරයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙහෙයවන අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් වන ක්‍රමවේද කඩිනම් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින තදබදය අවම කිරීම සඳහා මධ්‍යම විමර්ශන කාර්යාංශය නමින් නව කාර්යාංශයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම මම මුලින් කිව්වා වගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයන් හිටපු ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය මට්ටමේ දැනට සිටින සහ සිටි දේශපාලකයන් පිරිසක් ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි දහයක් සමඟ සම්බන්ධතා පවත්වන බව බුද්ධි තොරතුරු මඟින් වාර්තා කර තිබෙනවා. ඒ අනුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ තත්ත්වයත් අපරාධ වර්ධනයට බලපා ඇති බව බුද්ධි අංශ වාර්තා කර තිබෙනවා. මේ පිළිබඳ විමර්ශනය කර එම පිරිස් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නවා. ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ඇති වී නැහැ. සංචාරක කර්මාන්තයට බලපෑමක් සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් අප සතුව තොරතුරු නැහැ.
සිදුවූ සිදුවීම් 32ක විමර්ශන අවසන් කර තිබෙනවා. වෙඩික්කරුවන් 32ක්, පැදිකරුවන්, ආධාර අනුබල දුන් පුද්ගලයන් 216ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මේ සිදුවීම්වලට සම්බන්ධ ගිනිඅවි 16ක්, යතුරුපැදි, මෝටර් රථ වෑන් ආදි වශයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබෙනවා. විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය අපරාධකරුවන් ජාවාරම් මෙහෙයවන බවට නිරීක්ෂණය වී ඇති අතර රතු නිවේදන 70ක් ලබා ගනිමින් එම ජාවාරම්කරුවන් මෙරටට රැගෙන ඒම වෙනුවෙන් ඒ ඒ රටවල් සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කර තිබෙනවා.
එවැනි සාකච්ඡාවලින් පසුව සංවිධානාත්මක අපරාධකරුවන් 11ක් මෙරටට ගෙනැවිත් තිබෙනවා. ලොකු පැටි, රවිඳු , සංදීප වැනි අපරාධකරුවන් මෙරටින් පලා යෑමට උත්සාහ කළ අපරාධකරුවන් 8 දෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.”