එළවළු ව්කුණනවා වගේ හොර වාහන කෑලි ගලවා වික්ක කල්ලිය මාට්ටු
නුවරඑළියේ සිට කොළඹට එළවළු ප්රවාහනය කරන මුවාවෙන් නිවෙස්වල තිබෙන වාහනවල කෑලි ගලවා විදේශයෙන් ගෙන්වන අමතර කොටස් බවට ඇසුරුම් කොට ඉතා සූක්ෂ්ම ලෙස අලෙවි කළ සංවිධානාත්මක කල්ලියක නායක හිටපු යුද හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු මතුගම සහ අගලවත්ත පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අගලවත්ත, බේරගම ප්රදේශයේ නිවෙසක් ඉදිරිපිට ඉකුත් දා නවතා තිබූ මෝටර් රථයේ ඉදිරි විදුලි ලාම්පු සහ එම මෝටර් රථයේ ඉදිරිපස තවත් කොටස් කිහිපයක් අතුරුදන් බවට අගලවත්ත පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකට අදාළව ප්රදේශයේ ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමේදී ප්රදේශය හරහා ගමන් ගන්නා කුඩා ප්රමාණයේ ලොරි රථයක් පිළිබඳව සැක සිතී සිදු කළ සොයා බැලීමේදී එම ලොරි රථය කුලී පදනම මත නුවරඑළියේ සිට කොළඹ දක්වා එළවළු ප්රවාහනය සඳහා ලබාගත් එකක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
එම ලොරිය මතුගම, කීරන්තිඩිය ප්රදේශයේ නිවෙසක තිබෙන බවට ලද තොරතුරක් මත මතුගම සහ අගලවත්ත පොලීසි මගින් පරීක්ෂා කිරීමට යෑමේදී එම නිවෙසේ තිබූ මෙම මෝටර් රථවල විදුලි ලාම්පු තොගයක් සොයාගෙන, ඒ සම්බන්ධයෙන් සැකපිට එම නිවෙසේ සිටි පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සිදු කළ විමර්ශනයකදී මෙම සොරකමේ සියලු තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව, නුවරඑළිය ප්රදේශයේ පදිංචි මෙම සොරකමේ ප්රධාන සැකකරු හිටපු යුද හමුදා සෙබළා සහ මතුගම, කීරන්තිඩිය සහ මතුගම, පාන්තිය ප්රදේශයේ පුද්ගලයන් හා එක්ව මෙම සොරකම සිදු කර ඇති බවට අනාවරණය කරගෙන ඇත.
මොවුන් තිදෙනා එක්ව දහවල් කාලයේදී යතුරුපැදියක් ද යොදාගෙන පයාගල, මතුගම, වැලිපැන්න, වාද්දුව, හොරණ, ඇල්පිටිය, දොඩංගොඩ ප්රදේශවල නිවෙස් සහ විහාරස්ථාන ඉදිරිපිට නවතා ඇති මෝටර් රථ පිළිබඳව හඳුනාගෙන රාත්රී කාලයේදී මොවුන් තිදෙනා ලොරි රථය යොදාගෙන එම වාහනවල අමතර කොටස් ගලවා රැගෙනවිත් මතුගම, කීරන්තිඩිය ප්රදේශයේ නිවෙසේදී ඒවා විදේශයන්ගෙන් ආනයනය කරන ලද අමතර කොටස් බවට හඟවන ආකාරයට ඇසුරුම් කොට කඩවත, මිනුවන්ගොඩ හා බියගම ආදී ප්රදේශවල පිහිටි වාහන කොටස් අලෙවි ස්ථාන වෙත අලෙවි කොට ඇති බව සොයාගෙන තිබේ.
මෙම මෙහෙයුමේදී සොරකම් කරන ලද වාහන විදුලි ලාම්පු 27ක්, ඉදිරි බොනට් එකක් සහ මෝටර් රථ ඉදිරි බෆර් කිහිපයක් ද පොලීසිය සොයාගෙන ඇත. මෙම අමතර කොටස්වල වටිනාකම ලක්ෂ 70ක් පමණ වන බව පොලීසිය පවසයි. සොරකමට සම්බන්ධව අත්අඩංගුවට පත් ප්රධාන සැකකරු හිටපු පාබල හමුදා සෙබළෙකි. ඔහු යුද හමුදාවෙන් පැන ගිය සෙබළකු බව අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ, ඔහුට විරුද්ධව මීට පෙර දිවයිනේ විවිධ ප්රදේශවල වාහන අමතර කොටස් සොරකම් සම්බන්ධයෙන් චෝදනා රැසක්ම පවතින අතර, ඔහුට විරුද්ධව විවෘත වරෙන්තු කිහිපයක් ද පවතින බවයි.
සොරකම සිදු කිරීම සඳහා භාවිත කළ කුලී පදනමට ගත් ලොරි රථය සහ යතුරුපැදිය ද මේ වන විට අගලවත්ත පොලීසිය භාරයේ පවතියි.
අත්අඩංගුවට පත් සැකකරුවන් පෙරේදා (15) මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.