හතරේ සීමාවෙන් එහා උඩ පන්දු රැකීමේ නව නීතිය මෙන්න
ලෝක ක්‍රිකට් නීති රීති සැකසීමේ භාරකරු වන මේරිල්බෝන් ක්‍රිකට් සමාජය (එම්සීසී) විසින් හතරේ සීමාවට ඔබ්බෙන් ගුවනේ පාවී ලබා ගන්නා පියාසර උඩ පන්දු සම්බන්ධ නීතිය හෙට ගාල්ලේදී ආරම්භ වන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගයෙන් පසු වෙනසකට භාජනය කිරීමට පියවර ගෙන ඇත.
එනම් යම් පන්දු රකින්නකු හතරේ සීමාවට උඩින් යන පන්දුවක් උඩු ගුවනේ සිට රැකගෙන විසි කරන්නේ නම් උඩ පන්දුව සම්පූර්ණ කිරීමේ දෙවැනි අවස්ථාවේදී අනිවාර්යයෙන් ක්‍රීඩා පිටියේ පාද දෙකම ස්පර්ශ කරමින් සිටිය යුතු බවට නව නීතිය සකසා ඇත. හතරේ සීමා රේඛාවට උඩින් යන පන්දුවක් උඩු ගුවනේදී ස්පර්ශ කළ හැක්කේ එක් වතාවක් පමණක් වන අතර, දෙවැනි අවස්ථාවේදී පිටිය තුළට පන්දුව විසිකර දෙවැනි රැක ගැනීම සම්පූර්ණ කළ යුතු වේ. කිසිදු අවස්ථාවක හතරේ සීමාවට උඩින් යන පන්දුවක් රැකගෙන විසිකොට යළි රැක ගන්නේ නම් තුන්වරකදී එය කිරීම නීත්‍යනුකූල උඩ පන්දු රැකීමක් නොවන බව නව ක්‍රිකට් නීතිවල ඇතුළත් වේ.
එනම් පන්දුව අල්ලා ගැනීමට හතරේ සීමාවෙන් පිටත සිට දෙවතාවක් ගුවනට පැන අල්ලා යළි පිටියට විසිකොට උඩ පන්දුවක් බවට පත්කර ගැනීම නීති විරෝධී බව නව ක්‍රිකට් නීතිවල දැක්වේ. හතරේ සීමා රේඛාව උඩින් පැනීමෙන් පසු, ඕනෑම පන්දු රකින්නකු දෙවැනි වරටත් පන්දුව සමඟ සම්බන්ධ වීමට නම් පිටිය තුළට පැමිණිය යුතු බවත්, එසේ නොමැතිනම් එය හයේ පහරක් ලෙස සලකනු ඇති බවත් මේරිල්බෝන් ක්‍රිකට් සමාජය (එම්සීසී) පැහැදිලි කර ඇත.
එම්සීසීය එයට ‘බනී හොප්’ යන නව යෙදුමක් ලබා දී ඇති අතර, දැන් ‘බනී හොප්’ නීති විරෝධී උඩ පන්දු රැක ගැනීමක් ලෙස සලකනු ලැබේ. යම් හෙයකින් හතරේ සීමාවට උඩින් යන පන්දුවක් රැකගෙන පන්දු රකින්නා පිටිය තුළට විසිකර දෙවැනිවර අල්ලා ගැනීමට සමත් වන්නේ නම් එය වලංගු උඩ පන්දු රැකීමක් සේ ලෙස සලකනු ලැබේ.
ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් ක්‍රිකට් ලීගයේදී 2023 වසරේ මයිකල් නෙසර් විසින් ලබාගත් මතභේදාත්මක උඩපන්දුව සහ 2020දී ටොම් බැන්ටන්, මැට්රෙන්ෂෝගේ සහායෙන් ලබාගත් උඩපන්දුව හේතුවෙන් මේ නව රෙගුලාසි ගෙන ඒමට සිදුව තිබේ.
නෙසර් හතරේ සීමාවට උඩින් යන පන්දුව අත් දෙකෙන්ම අල්ලා ගත් නමුත් ඔහුගේ සමබරතාව ගිලිහී යෑමේදී ඉහළට විසිකළ අතර, එය හතරේ සීමාවට පිටින් ඉහළ ගියවිට යළි බිමට පාද ස්පර්ශ නොවන සේ උඩ පැන පන්දුව පිටිය දෙසට උඩින් දමා, පිටිය තුළට පැමිණ උඩ පන්දුව සම්පූර්ණ කළේය. එම රැක ගැනීම පැරණි හතරේ සීමා නීතියට අනුගත වුවද කෙතරම් සදාචාරාත්මක දැයි ක්‍රිකට් විචාරකයෝ දිගින් දිගටම ප්‍රශ්න මතු කරන්නට වූහ.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ නව චක්‍රය ආරම්භ වන හෙට සිට නව නීති ක්‍රියාත්මක වන අතර, එය 2026 ඔක්තෝබර් මාසයේ සිට එම්සීසී නීතිරීතිවලට නිල වශයෙන් ඇතුළත් කෙරේ.