ආණ්ඩුව දුන් පොරොන්දු එකින් එක කඩ කර අවසන්
ආණ්ඩුව මැතිවරණ පොරොන්දු එකින් එක කඩ කර අවසන් බවත්, දැන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගන්න බැරි තැනට පත්වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ ඊයේ (14) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එහිදී වැඩිදුරටත් මෙලෙස ද සඳහන් කරයි.
“මැතිවරණයේදී රටේ ජනතාවට යෝජනා කළ පොරොන්දු රාශියක් අද වන විට මේ රජය කඩ කර ඇති බවට විශේෂ සමීක්ෂණයක් හරහා වාර්තා වෙනවා. රටේ නීතිය හා සාමය ශක්තිමත් කරන්න මේ රජය පැහැදිලි පොරොන්දුවක් දුන්නා. රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීම ප්‍රමුඛතම කාර්යයක් බවට ප්‍රකාශ කළත් අද වන විට මහජන ආරක්ෂාව සපයන්න බැරි රජයක් බිහිව තිබෙනවා.
මේ වන විට රටේ කැලෑ නීතිය ක්‍රියාත්මකයි. රටේ නීතිය වල්බිහිවී නීතියේ ආධිපත්‍ය සහමුලින්ම විනාශ වී වෙඩි තැබීම් 68ක් හරහා ජීවිත 37ක් අහිමි වී තිබෙනවා. මේ රජය ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති පවත්වන්නැයි ජනතාවට කිව්වත් අද වන විට ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව නැති වී තිබෙනවා.
ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. කුමන මොහොතක වෙඩි ප්‍රහාරයක් එල්ල වී ජීවිත අහිමි වේ දැයි කියා ගැටලුවක් මතුව තිබෙනවා. මේ අවස්ථාවේ නීතිය හා සාමයට එල්ල වී තිබෙන මරු පහර ජාතික ආරක්ෂවට තර්ජනයක් නිසා මෙය වහාම මැඬපැවැත්විය යුතුයි. රජයට මේ වගකීමෙන් බැහැර විය නොහැකියි. මේ ජාතික ආරක්ෂක ගැටලුවට සමස්ත ජනතාව විසඳුමක් අපේක්ෂාවෙන් සිටින නිසා ආණ්ඩුවට මේ ගැටලුවෙන් පැන යා නොහැකියි. මේ මැර සංස්කෘතිය මැඬපැවැත්වීමට ගතහැකි ප්‍රබලම නීත්‍යනුකූල පියවර ගත යුතුයි. එසේ නොකළොත් ජනතාවගේ ජීවිත ගැටලුවට ලක් වී රජයේ අසාර්ථකත්වය පෙන්නුම් කරනවා.”