ඊශ්‍රායල ප්‍රහාරයකින් ජනපති තුවාල ලැබූ බව ඉරාන මාධ්‍ය පළමුවරට හෙළි කරයි
ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අතරතුර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් තුවාල ලැබූ බව එරට මාධ්‍ය පළමුවරට අනාවරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායට අයත් ෆාර්ස් පුවත් සේවය සඳහන් කර ඇත්තේ දෙරට අතර යුද ගැටුම් පැවති පසුගිය මස 16 වැනිදා ඊශ්‍රායලයෙන් එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ජනාධිපතිවරයාගේ පාදයකට සුළු තුවාල සිදුවූ බවයි.
එදින ටෙහ්රාන් නුවර භූගත ගොඩනැගිල්ලක පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයේ රහසිගත රැස්වීමකට සහභාගිවෙමින් සිටියදී ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර එල්ල වූ බවත්, එම ගොඩනැගිල්ලේ ප්‍රවේශ දොරටුව අසල සිදුවූ විශාල පිපිරීමකින් අවසන් මොහොතේ ජනාධිපතිවරයා ජීවිතය බේරාගත් බවත් ෆාර්ස් පුවත් සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
ජනාධිපතිවරයා සමඟ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක, අධිකරණ ප්‍රධානි සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද එම රැස්වීමට සහභාගි වී ඇති අතර, ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු වහාම එම ගොඩනැගිල්ලෙන් පලාගොස් ඇතැයි ද වාර්තා වේ.
රැස්වීම පැවති භූගත ගොඩනැගිල්ලෙන් පිටවී යෑමේ මාර්ගයට සහ ඔක්සිජන් සැපයීමේ පද්ධතිය බිඳ දැමීමට ඊශ්‍රායලය මිසයිල 6ක් එල්ල කර ඇතැයි ද, ඒ අනුව එම රැස්වීම සම්බන්ධව ඊශ්‍රායලයට නිවැරැදි තොරතුරු ලැබී ඇති බව තහවුරු වී ඇතැයි ද ෆාර්ස් පුවත් සේවය සඳහන් කර තිබේ.