උඩපන්දු දෙක අත්හැරීම අපට අවාසිදායක වුණා
ක්‍රිකට් තරගයකදී ලබන පරාජය සම්බන්ධව කිසිවකුට ඇඟිල්ල දිගු කිරීම අසාධාරණ බවත්, පරාජයේ වගකීම කණ්ඩායමක් ලෙස සියලු දෙනා භාරගත යුතු බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක පවසනවා.
බංග්ලාදේශය ලබා දුන් උඩපන්දු දෙකක් අත්හැරීම තරගයේදී ශ්‍රී ලංකා පිලට බලවත් අවාසිදායක අවස්ථා ලෙස තමන් සලකන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා සඳහන් කළා.
රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පෙරේදා (13) පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී චරිත් අසලංක මේ බව සඳහන් කළා.
තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට බංග්ලාදේශ පිල සමත්වූ අතර, 2 වැනි විස්සයි20 තරගය ලකුණු 83කින් ජය ගැනීමට ඔවුහු සමත් ව්ය.
කාසියේ වාසිය දිනාගත් නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළ හෙයින් බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දී කඩුලු 7කට ලකුණු 177ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලු දෙනා ඕවර 15.2කදී ලකුණු 94කට දැවී ගියා.
එම ලකුණු ගණන ශ්‍රී ලංකා පිල මවුබිමේදී ලැබූ අඩුම එකතුව වූ අතර, මෙයට පෙර 2012 වසරේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 101කට දැවී ගියා.
“මට පෞද්ගලිකව හිතෙනවා අපේ අතින් උඩපන්දු දෙක අත්හැරීම යම් බලපෑමක් වුණා කියලා. ඒ වුණත් කාටවත් දොස් නඟන්න බෑ. තරගයක් පරාජය වුණාම අපි සියලු දෙනා එහි වගකීම භාර ගත යුතුයි. තරගයේ මැද ඕවරවලදී බිනුර ඇවිත් කඩුලු 2ක් අරන් අපේ පැත්තට ගේම් එක ගත්තා. අපේ පන්දු යැවීම හොඳයි. හොඳ තණතිල්ලක් ලැබිලා තිබුණේ” අසලංක පැවසුවා.
“තරගය පරාජයවීම ඉතාම කනගාටුයි. විස්සයි20 තරගයක මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. සිදුවූ දේ අමතක කරලා ඉක්මනින් යළි යථා තත්ත්වයට එන්නේ කොහොමද කියලා බලන්න වෙනවා. වනිඳු හසරංග නැති වුණාම අංක 7 පිතිකරුවෙක්ගේ අවශ්‍යතාව හොඳින් පේනවා. අංක 4 හා අංක 6 ස්ථාන අපට දිගින් දිගටම තිබුණ ප්‍රශ්නයක්. තවම හරිම කණ්ඩායම ගොඩනඟමින් ඉන්නේ. ලෝක කුසලානයට යන කණ්ඩායම ගොඩනැඟීම ලොකු අභියෝගයක්” යනුවෙන් චරිත් අසලංක පැවසුවා.
“අපි දඟ පන්දු යවන්නකු යොදවා ගැනීමට තීරණය කළේ වනිඳු කරන කාර්ය වැන්ඩර්සේගෙන් ඉටු වෙයි කියලා. ඒ අතරතුර පිතිකරණයේ අඩුපාඩුව තියෙනවා. ඉදිරි දින කිහිපයේ හොඳ විකල්පයක් ගේන්න බලනවා. තරගයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ නරක විදිහට පන්දුවට පහරදීම. මේ වගේ තණතිල්ලක ලකුණු 180ට අඩුවෙන් තිබ්බාම අපේ ලකුණු අතර සිටින ප්‍රබල ක්‍රීඩකයන් ජයග්‍රහණය හඹා යා යුතුයි” අසලංක පැවසීය.
තරගාවලි ජය තීරණය කෙරෙන තෙවැනි හා අවසන් විස්සයි20 තරගය හෙට (16) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.