හන්තාන වත්තෙන් අක්කර 43ක් කිරිඇල්ලගේ දියණියට ලැබුණු හැට්
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාස්සගල වත්තේ අක්කර 22 ඉඩම වෙනුවට හන්තානේ පිහිටි හන්තාන වත්ත නම් ඉඩමෙන් අක්කර 43ක ඉඩමක් පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මියට පවරා තිබීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී පසුගියදා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වුණා.
රත්නපුර රාස්සගල වත්තට අයත් ඉඩම්වලින් අක්කර 50ට අඩු ඉඩම් කොටස් අයත් ප්‍රකාශකයන් නොවන 46 දෙනකු සිටින අතර එම ප්‍රකාශකයන් නොවන කිසිවකුට හන්තාන වත්තෙන් ඉඩම් කොටස් ලබාදී නොමැත.
හන්තාන වත්තෙන් අක්කර 43ක් ලබාදී ඇත්තේ සී. කිරිඇල්ල මහත්මියට පමණක් බවත් මෙහිදී අනාවරණය වුණා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ, මෙහිදි මතු වන ගැටලුව වන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමකින් අක්කර 43ක් විකල්ප ඉඩමක් ලෙස ලබාදෙන්නේ කෙසේ ද යන්න බවයි.
එමෙන්ම මෙහිදි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා සඳහන් කළේ, සී. කිරිඇල්ල මහත්මිය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය බැවින් ඒ සඳහා දේශපාලන බලය යොදාගෙන ඇති ද යන්නයි.
කෙසේ වෙතත් මෙම කරුණ සම්බන්ධව පුළුල් ලෙස ජනතා වතු සංවර්ධන මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කළා.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා.
කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා, “සී. කිරිඇල්ල නමැති අයට රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාස්සගල වත්තේ අක්කර 22කට ආසන්න ප්‍රමාණයක් සඳහා හිමිකම සහිත වීම සහ රාස්සගල වත්තේ භුක්තිය කොමිෂන් සභාව සතුව නොතිබූ අවස්ථාවක එම ඉඩම වෙනුවට හන්තාන ප්‍රදේශයෙන් ඉඩම් ලබාගෙන තිබීම පිළිබඳවත්, මේ වන විට ඇය විසින් එම ඉඩම විකුණා තිබීම යන කලින් කෝප් කමිටුවේ තීරණයක් මම ගත්තේ. සී. කිරිඇල්ල මහත්මියට අයිති වෙලා තිබෙන්නේ දළ චිත්‍රය ගත්තොත් රාස්සගල මඩුවන්විල වලව්ව සහ මහවලතැන්න වලව්වට අයිති ඉඩම්.
මේ ඉඩම හවුල් ඉඩමක්. සී. කිරිඇල්ල මහත්මියට තිබිලා තියෙන්නේ අක්කර 22ක ප්‍රමාණයක්. මේ ඉඩම එල්.ආර්.සී. එකට අයිති නෑ. ඒත් මේ එල්.ආර්.සී. එක මැදිහත් වෙලා මේ ඉඩම බදු දෙනවා බළන්ගොඩ ප්ලාන්ටේෂන් එකට. ඉන්පසු ඔවුන් එල්.ආර්.සී. එකට අතුරු තහනම් නියෝගයක් ගන්නවා.
1996දී මේ ඉඩම නැවත අයිතිකරුවන්ට අත්පත් වුණාම එයාල ඉඩම් ප්‍රකාශකයන් විදියට එල්.ආර්.සී. එකට මේ ඉඩම් ප්‍රකාශ කළා ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රකාශ කළාම මේ සී. කිරිඇල්ල මහත්මියට අයිති වෙලා තිබුණේ අක්කර 22ක් නම් එතුමිය කොහොම ද ප්‍රකාශකයෙක් බවට පත්වුණේ? මෙතන ප්රශ්නය වෙන්නේ හන්තාන වත්ත කියන ජේ.ඩී.බී. එකට අයිති ඉඩමකින් අක්කර 43ක් නිදහස් කරනවා විකල්ප ඉඩම් ලබාදීමක් ලෙස.
1896 සිට 1996 දක්වා වසර සියයකට බදු දීලා තිබෙනවා. තේ කර්මාන්ත ශාලාවකට. හැබැයි ඒ තේ කර්මාන්තශාලාව විසින් 1970දී බදු කාලය තුළ රාජ්‍ය වැවිලි සමාගමට අතුරු බදු පැනවීමක් සිදුකර තිබෙනවා. නමුත් එල්.ආර්.සී. පනත එන්නේ 1972දි නේ. ඒ වෙන කොට එය එල්.ආර්.සී. එකට අයිති නැහැ. 1996දී බද්ද අහෝසි වුණාට පසුව ඉඩම පැවරෙනවා නැවත හිටපු අයට. ඒ ඉඩම් ටික ගත්තම ඉඩම හවුල් ඉඩමක්. එතන සී. කිරිඇල්ල මහත්මියට තිබී තිබෙන්නේ අක්කර 22ක ප්‍රමාණයක්. එතකොට ගැටලුව මතු වෙනවා.
එල්.ආර්.සී. එකට මේක අයිති නැහැ. හැබැයි එල්.ආර්.සී. එක මැදිහත් වෙලා මේ ඉඩම ලබාදෙනවා, බළන්ගොඩ ප්ලාන්ටේෂන් එකට. බදු දෙනවා. එයාලා එල්.ආර්.සී. එකට අතුරු තහනම් නියෝගයක් ගන්නවා. මේ දැන් 1996දි. සී. කිරිඇල්ල මහත්මියට අයිතිවී තිබුණේ අක්කර 22ක් නම් ඇය කොහොම ද ප්‍රකාශකයෙක් බවට පත්වෙන්නේ යන ගැටලුව මතු වෙනවා.
මුළු අදහස ගත්තොත් සී. කිරිඇල්ල මහත්මියට ඉඩමක් තිබෙනවා. අක්කර 22යි. නමුත් ඒක එල්.ආර්.සී. පනතට ඇතුළත් නැහැ. අක්කර 22යිනේ. ව්‍යාවස්ථාපිත නිශ්චයක් ලබාදෙන්න හිමිකමක් දෙන්න හැකියාවක් නැහැ. මොකද එයාට තිබෙන්නේ අක්කර 22යි. එතකොට එල්.ආර්.සී. එක බැඳිලත් නැහැ ඇයට ඉඩමක් දෙන්න.
මෙතන ප්රශ්නය මතු වෙන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිති හන්තාන වත්ත නම් ඉඩමකින් අක්කර 43ක් නිදහස් කරනවා විකල්ප ඉඩම් ලබාදීමක් ලෙස. මට තවමත් පැහැදිලි නැහැ මෙතන කවුද කළේ කියලා. ඔබතුමාලාගේ එල්.ආර්.සී. එක පැත්තෙන් ද, කොහොම ද වුණේ කියලා පැහැදිලි නැහැ. මේ පිළිබඳව පැහැදිලි කරගත යුතුයි. කොහොම ද ඒක වුණේ කියලා පැහැදිලි කරන්න.”
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ මහතා,
“රාස්සගල වත්ත කියන එක ජී.ඩබ්ලිව්. මඩුවන්වෙලයි, එස්.ඩබ්ලිව්. මාලකතැන්න කියන දෙන්නෙක්ට තමයි අයිති වෙලා තිබුණේ. මේ ඉඩමේ සම්පූර්ණ ප්‍රමාණය තිබිලා තියෙනවා අක්කර 5360යි රෑඩ් එකයි , පර්චස් 37ක්.
මේකෙන් බදු ගිවිසුම් යටතේ රාජ්‍ය වැලි සංස්ථාවට ගිහින් තියෙනවා අක්කර 1824 රූඩ් එකයි, පර්චස් 17ක ප්‍රමාණයක්. 1996දී තමයි මේක අවසන් වෙන්නේ බදු කාලය. මේ ඉඩමට අදාළව අක්කර 50 ඉක්ම වන ප්‍රකාශකයන් ඉන්නවා 22ක්. ප්‍රකාශක නොවන 46ක් ඉන්නවා. මේ සී. කිරිඇල්ල කියන අය මේ ප්‍රකාශක නොවන 46 දෙනාගෙන් එක්කෙනෙක්. මේ සම්පූර්ණ ඉඩම අපිට ඇවිල්ලා නෑ. මේ ඉඩම තවම තියෙන්නේ එස්.පී.සී. එක යටතේ. දැනට බළන්ගොඩ ප්ලාන්ටේෂන් එකෙන් පාලනය වෙනවා.
ප්‍රකාශිත නොවන 46 දෙනාට අයිතිවෙලා තිබිලා තියෙනවා ඒ වන විට අක්කර 462යි, රූඩ් 2යි, පර්චස් 14ක ප්‍රමාණයක්. එතන චාමිණි කිරිඇල්ල කියන මහත්මියට තිබිලා තියෙනවා අක්කර 22යි, රූඩ් 1යි, පර්චස් 28ක අයිතියක්. නමුත් ප්‍රකාශිතයන් 22 දෙනාටවත්, ප්‍රකාශිතයන් නොවන කිසිවකුටවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මෙතෙක් ඉඩම් බැහැර වීමක් සිදු වෙලා නෑ. ප්‍රකාශිතයන් නොවන අයට කිසිසේත්ම අයිතියක් නෑ ඉඩම් බැහැර කිරීමට.
මොකද ඒ ඉඩම් කොමිෂන් සභාවට පැවරෙන්නේ නැති නිසා. ඒ අනුව අපිට චාමිනි කිරිඇල්ල කියන කෙනාට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් දෙන්න කිසිදු බැඳීමක් නෑ. ඒ ඉඩම ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් සී කිරිඇල්ල මහත්මියට දීලා තියෙන්නේ. මේකට අපට සම්බන්ධයක් නැහැ.
මේ ඉඩමට අදාළව අක්කර 50ට වැටි ප්‍රකාශකයන් ඉන්නවා 22ක්. අක්කර 50ට අඩු ප්‍රකාශකයන් ඉන්නවා 46ක්. සී. කිරිඇල්ල කියන කාන්තාව මේ ප්‍රකාශකයන් නොවන 46 දෙනාගෙන් එක් කෙනෙක්. මේ සම්පූර්ණ ඉඩම අපට ඇවිත් නැහැ. ඒ කියන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ඇවිත් නැහැ. තවම තිබෙන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ.”
සභාපතිවරයා – ඒ කියන්නේ මම කියපු එක හරිනේ. සී. කිරිඇල්ල කියන මහත්මිය මේ පනත යටතේ ප්‍රකාශකයෙක් වෙන්නේ නැහැ.
අධ්යක්ෂ ජනරාල්වරයා – එතකොට මෙම ඉඩම තවමත් තිබෙන්නේ රාජ්‍ය වැවිලි සමාගම යටතේ. දැනට බළන්න්ගොඩ ප්ලාන්ටේෂන් එකෙන් පාලනය වෙනවා. ඒ වගේම තහනම් නියෝගයකට යටත් වූ ඉඩමක්.
සභාපතිවරයා – එතකොට මේක බළන්ගොඩ ප්ලාන්ටේෂන් එකට දීලා තිබෙන්නේ කවුද?
අධ්යක්ෂ ජනරාල්වරයා – ලබාදී තිබෙන්නේ එස්.පී.සී. එකෙන්. පළාත් තේ සමාගමක් ලෙස එය ලබාදී තිබෙනවා.
කාරක සභා සභාපති නිශාන්ත සමරවීර මහතා – ඒ කියන්නේ ඔබතුමාලාගේ මැදිහත්වීමෙන් නෙවෙයි ද?
පිළිතුර –
නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා – එහෙම නම් මේ ඉඩමේ අයිතිය තිබෙන්නේ කාටද?
පිළිතුර –
අපි ඉඩම් ලබා දෙන්නේ ගැසට් කරලා. ඒ වගේම අපි ඉඩම් ලබාදෙන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හා රාජ්‍ය වැවිලි සංස්ථාවට. ඒක ගැසට් මඟින් පැවරීමක් ලෙස සිදු කරනවා.
දයාසිරි ජයසේකර මහතා – ගැසට් එකක් ගහලා යම් ඉඩමක පැවරීමක් සිදු කළාම එහි වගකීම එල්.ආර්.සී. එකෙන් බැහැර වෙනව ද?
පිළිතුර –
ඔව්.
කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා –
“මේක අපි ජේ.ඩී.බී. එක සම්බන්ධ වන වෙලාවක සාකච්ඡාවට ගන්න වෙන්නේ. ප්‍රකාශකයකුත් නොවන කෙනකුට ඉඩම් ලබාදීම සම්බන්ධයෙනුයි ගැටලුව. ඒ නිසා ජනතා වතු සංවර්ධන මණ්ඩලය කැඳවූ අවස්ථාවක මේ සම්බන්ධයෙන් යම් විමසීමක් සිදු කළ යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා – ප්‍රකාශකයන් නොවන අනිත් 46 දෙනාටත් මේ ආකාරයෙන් ඉඩම් ලබාදී තිබෙනවද?
අධ්යක්ෂ ජනරාල්වරයා – මම දන්නා තරමට නැහැ.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන,
ඔබතුමන්ලාගේ ඉඩම් වතු සංවර්ධන මණ්ඩලය සතුව තිබෙනවානේ. ඒකෙන් ද මේ අක්කර 43යි, රූට් 01යි පර්චස් 26ක් සී. කිරිඇල්ල මහත්මියට නිකුත් කරලා තියෙන්නේ?
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ මහතා – නිකුත් කරලා තියෙන්නේ වතු සංවර්ධන මණ්ඩලයෙන්. ඒත් මේ ඉඩම පරිපාලනය තියෙන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ. ඒ වගේම මෙම ඉඩම් බදු පදනම යටතේ ලබාදීමේදී පරිපාලනමය අයිතිය අදාළ සමාගම්වලට ලබා දෙනවා. නමුත් නෛතික අයිතිය තිබෙන්නේ එල්.ආර්.සී. එකට.
දයාසිරි ජයසේකර මහතා – ඒක තමයි මේ දිගින් දිගටම ඇහුවේ.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා,
සී. කිරිඇල්ල මහත්මියට නිකුත් කරලා තියෙන්නේ බළන්ගොඩ ප්ලාන්ටේෂන් එකේ ඉඩමක් ද?
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ මහතා – බළන්ගොඩ ප්ලාන්ටේෂන් එකෙන් පරිපාලනය වන රාජ්‍ය වැලි සංස්ථාවට අපි භාරදීපූ ඉඩමක් තමයි ජනවසම විසින් නිදහස් කරලා තියෙන්නේ.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා,
සී. කිරිඇල්ල කියන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්මයාගේ දුව. ඔබතුමල්ලා කියනවා එල්.ආර්.සී. එක අධිකරණයේදී ඔබතුමන්ලාගේ හිමිකාරීත්වයවත් පිළිගන්නේ නෑ කියලා. ඒත් බළන්ගොඩ ප්ලාන්ටේෂන් එකට දුන්න ඉඩමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට පැවරිලා තියෙනවා.
කොහොමද ඒක වෙලා තියෙන්නේ? දේශපාලන බලය පාවිච්චි කරලාද? ලක්ෂ්මන් කිරිඇල්ල මහත්මයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා ද? ඒ බලය පාවිච්චි කරලා ද තියෙන්නේ? මේ අක්කර 43 පැවරීමට අදාළ නඩු පැවරීමක් සිදුකර නැද්ද?
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා – මේ සම්බන්ධ නිවැරදි තීන්දුවක් අරන් මේක නීතියක් බවට පත් කරන්න. එතකොට උසාවිවලයි එහේ මෙහේ තිබෙන සල්ලි ටික ගන්න පුළුවන්. මේ පිළිබඳ නිවැරදී තීන්දුවක් ගන්න.
කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර – විකල්ප ඉඩම් ලබා දීම සම්බන්ධව පනතේ තිබෙන බලතල මොකක් ද කියන එක පැහැදිලි කරන්න.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ (නීති) උදයසිරි රාජපක්ෂ මහතා,
පනතේ 22 අ වගන්තියේ දැක්වෙනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් පවරාදීමේදී හුවමාරුවකින් පවරා දෙන්න පුළුවන් කියලා. 44 අ වගන්තියේ දැක්වෙනවා බලතල දක්වනකොට පනතේ පරමාර්ථ සහ බලතල ක්‍රියාත්මක කිරීමට අනිකුත් දේ අතර, ඒ කියන්නේ විකිණීම් , බදු දීම්, අන් අයගෙන් බැහැරකිරීම්, අඩපන කිරීම වැනි කාරණා අතර හුවමාරු කිරීමට බලයක් තියෙනවා කියලා.