free web stats

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තරකෙරේ

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට තරකර තිබෙනවා.

අප වාර්තාකරුවන් පැවසුවේ, එහි ආරක්ෂාවට පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බවයි.

මෙහිදී අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන පුද්ගලයින්ගේ නඩු අංක පරීක්ෂා කර ගමන්මලු සහ පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂාවට ලක්කරන අතර කිව් මාර්ගයෙහි (Kew Road) පදිංචිකරුවන්ට හා නීතිඥවරුන්ට පමණක් එම මාර්ගයට ඇතුළු විය හැකිවේ.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතයි.

සිද්ධියට අදාළව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වේ.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදුකරන අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනවාද? නැද්ද? යන්න එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *