විපක්ෂ නායකවරයා බිය කිරීමට ආණ්ඩුව උත්සාහ කරනවා
මධ්‍යම සංස්කෘතික අරමුදල විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික පරිහරණයට හෝ දේශපාලන වැඩවලට යොදාගෙන නැතැයි කෝප් කමිටුවේදී හෙළි වී තිබියදී ඒ ගැන නැවත නැවත කතා කර විපක්ෂ නායකවරයා බිය කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුවක් පසුගියදා (26) පක්ෂ කාර්යාලයේදී පැවැති අතර එහිදී ඒ මහතා මේ බව කියා සිට්යා.
ඒ මහතා එහිදී මෙසේ ද පැවසූවා.
“ගෝඨාභය රාජපක්ෂ පාලනය කාලයේදී සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුවී ඇත්දැයි පරීක්ෂණයක් කළා. ඒ අනුව වාර්තාවක් ද ඉදිරිපත් කළා. එම වාර්තාව කෝප් කමිටුවටත් ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් මම විගණකාධිපතිවරයාගෙනුත් ප්‍රශ්න කළා. ඒ වගේම කෝප් කමිටුවේදී අපි සමඟ එවකට ආණ්ඩුවේ සිටි ප්‍රබලයන් මේ සම්බන්ධයෙන් වාද විවාද කළා. සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කර නැති බවත් තාක්ෂණික ගැටලු තිබෙන බවත් විගණකාධිපතිවරයා කෝප් කමිටුවේදී පැහැදිලිව ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අරමුදලේ මුදල් ඔහුගේ පෞද්ගලික පරිහරණයට හෝ දේශපාලන වැඩට යොදාගෙන නැති බව කෝප් කමිටුවේදී පැහැදිලි වුණා. ඒ වගේම මේ සිද්ධිය නැවත කතා කිරීම හරහා ආණ්ඩුව විපක්ෂය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බිය ගන්වන්න උත්සාහ කරනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. නමුත් වාර්තාවක් ආණ්ඩුව සතුව නැති බව හෙළි වුණා. ආණ්ඩුව කියපු දේවල් කරන පිරිසක් නොවන බව හෙළි වී තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව විපක්ෂයේ ගමන වළක්වන්න විවිධ දේශපාලන උපක්‍රම යොදමින් සිටිනවා.
මේ සම්බන්ධයෙන් වාර්තාවක් තිබෙනවානම් එම වාර්තාව එළිදක්වන්න. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා කිසිම වංචාවකට, දූෂණයකට සම්බන්ධ පුද්ගලයෙක් නොවෙයි. ඒවාට අනුබලදීමට හෝ නීතියට බලපෑම් කිරීමට කවදාවත් කටයුතු කර නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගැන සමාජයේ තිබෙන විශ්වාසය බිඳින්න ආණ්ඩුව විවිධ උත්සාහවල නිරත වෙනවා.”

