පැරීසියේ කෞතුක භාණ්ඩ කොල්ලකරුවන් සොයා දැවැන්ත මෙහෙයුමක්
ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර් කෞතුකාගාරයට කඩාපැන නැපෝලියන් අධිරාජ්‍යයට අයත් මිල කළ නොහැකි රන් ආභරණ පැහැරගත් කොල්ලකරුවන් සොයා ප්‍රංශයේ දැවැන්ත මෙහෙයුමක් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පෙරේදා උදෑසන කෞතුකාගාරය මහජනතාවට විවෘත කිරීමෙන් පැය භාගයකට පසු සොරකම සිදුවී ඇති අතර, කෞතුකාගාරයේ ගිනිකොනදිගින් පිහිටි සේන් නදිය දෙසින් පැමිණි මුහුණු ආවරණය කරගත් කොල්ලකරුවන් එහි ඇපලෝ ගැලරිය පිහිටි පළමු මහලට නැඟ ඇත්තේ ලොරියකට සවිකළ ඉනිමඟක ආධාරයෙන් බවත්, අනතුරුව විදුරු කවුළුව බිඳ ඊට ඇතුළු වී සොරකම සිදු කර ස්කූටර් මඟින් පලා ගොස් ඇත්තේ මිනිත්තු 7ක් තරම් කෙටි කාලයකදී බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
කොල්ලය සඳහා පුද්ගලයන් සිව්දෙනකු පැමිණ ඇතැයි ද වාර්තා වේ.
සොරුන් පිරිස 19 වැනි සියවසට අයත් රාජකීය රන් ආභරණ 9ක් පැහැරගෙන ඇති අතර, ඉයුජිනි අධිරාජිනියගේ ඔටුන්න පමණක් පාලු වීදියක අත්හැර දමාගොස් තිබියදී පසුව සොයාගෙන තිබෙනවා.
දියමන්ති 1354ක් සහ මරකත මැණික් 56ක් ඔබ්බ වූ එම ඔටුන්නට දැඩි හානි සිදුවී තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
නැපෝලියන් අධිරාජයාගේ දෙවැනි බිරිය මාරි ලුයිස් අධිරාජනියට අයත් රන් මාලයක් සහ කරාබු යුගලයක්, නිල් කැට ඔබ්බ වූ ආභරණ කට්ටල දෙකක් සහ මරකත මැණික් ඔබ්බ වූ මාලයක් ඇතුළු වාණිජ වටිනාකමට වඩා ඓතිහාසික වටිනාකමක් ඇති ජාතික උරුමයක් ලෙස සැලකෙන ආභරණ කට්ටල 8ක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වෙනවා.
කොල්ලයට පැමිණ ඇත්තේ වෘත්තීය මට්ටමේ සොරුන් බවත් පසුව ප්‍රංශයේ සංස්කෘතික ඇමැතිනිය රචීඩා ඩාටි ප්‍රකාශ කර ඇති අතර, සිද්ධිය වූ සැණින් කෞතුකාගාරය වසා දැමීමටත්, පැමිණ සිටි සියලු සංචාරකයන් වහා ඉවත් කිරීමටත් පියවර ගත් පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.
සංචාරකයන්ගේ ප්‍රියතම කෞතුකාගාරය ලෙස සැලකෙන ලූව්ර් කෞතුකාගාරය පිහිටා ඇත්තේ ප්‍රංශයේ පොලිස් මූලස්ථානයේ සිට මීටර් 800ක පමණ දුරකින් බැවින් වඩාත් ආරක්ෂිත කෞතුකාගාරයක් ලෙස ද ප්රකටයි.
ලොව විශාලතම කෞතුකාගාරය ලෙස ද සැලකෙන ලූව්ර් වර්ග මීටර් 73,000ක වපසරියකින් සමන්විත වන අතර, එය පාපන්දු ක්‍රීඩාංගණ 10ක ප්‍රමාණයකට සමාන බවද කියැවේ. ලියොනාඩෝ ඩාවින්සිගේ ඓතිහාසික මෝනාලිසා ආලේඛ්‍ය ඇතුළු පෞරාණික වටිනාකමකින් යුත් ආලේඛ්‍ය චිත්‍ර රැසක් ද ඇතුළුව එහි තැන්පත් කර ඇති කෞතුක වස්තුන් සංඛ්‍යාව 35,000කට අධික බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එක් කෞතුක වස්තුවක් තත්ත්පර 30ක් බැගින් දිවා රාත්‍රි අඛණ්ඩව පැය 24 පුරා නැරඹුවද, දිනකට නැරැඹීමට හැකි කෞතුක වස්තුන් ප්‍රමාණය තුන්දහසකටත් වඩා අඩු බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

