ආණ්ඩුව, මැති ඇමැතිවරුන්ට ලබාදුන් ආරක්ෂාව ඉවත් කරලා
වර්තමාන ආණ්ඩුව මැති ඇමැතිවරුන්ට ලබා දුන්න ආරක්ෂාව ඉවත් කරන්නට කටයුතු කර තිබෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පසුගිය 24දා පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසූවේ.
“නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනය එල්ල වුණ යුග හතරක් තිබුණා. 1971 දී පොලිස් ස්ථාන විනාශ කළා. ඒ කාලයේදී රටේ ජාතික ආරක්ෂාවට විශාල ප්‍රශ්න රැසක් ඇතිවුණා. ඒ වගේම 88 – 89 කාලයේදී විශාල පිරිසක් ඝාතනය වුණා. රජයේ දේපළ විශාල ප්‍රමාණයක් විනාශ වුණා.
රටේ සිටි ස්වාමීන්වහන්සේලා, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් ඝාතනයට ලක්වුණා. ඒ වගේම වසර 30ක ඊළාම් යුද්ධය. උතුරු කොටි ත්රස්තවාදීන් යුද්ධ කරද්දි, දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ ත්රස්තවාදීන් යුද්ධ කළා. ඒ වගේම පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය. කෙසේ නමුත් මෙම අපරාධ හතරින් තුනකට සම්බන්ධ පිරිස රටේ බලය ලබාගෙන රට පාලනය කරනවා.
ඒ වගේම මෙම වසර තුළ වෙඩි තැබීම් 112ක් සිදු වෙලා තිබෙනවා. ඒ අතරින් 60ක් ඝාතනය වෙලා තිබෙනවා. ඒ වගේම වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට තිබෙන චෝදනා පිළිබඳව මහජන ආරක්ෂක ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
වෙඩි ප්‍රහාරයකින් මියගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මහජන ඡන්දයෙන් ප්රජාතන්ත්රවාදීවයි දේශපාලනයට පිවිස තිබෙන්නේ. මහජන දිනය දවසේයි ඔහුව වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ. ඔහුට චෝදනා තිබුණා නම්, ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන්න ආණ්ඩුවට හැකියාව තිබුණා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඝාතකයන් අත්අඩංගුවට ගන්න රජය කටයුතු කළ යුතුයි. මෙවැනි තත්ත්වයක් තමයි අද රට තුළ තිබෙන්නේ. රටේ මහජන ආරක්ෂාව පිළිබඳව තිබෙන ප්රශ්නකාරී තත්ත්වය හේතුවෙන් ජනතාවට බියෙන් ජීවත්වෙන්න සිදු වෙලා තිබෙනවා. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි”

