පැරිස් කෞතුකාගාර කොල්ලයේ සැකකරුවෝ දෙදෙනෙක් මාට්ටු
ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර් කෞතුකාගාරය කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන්ගෙන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පැරීසියේ පොලිස් නිලධාරීන් සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලූව්ර් කෞතුකාගාරයට කඩා පැන නැපෝලියන් රජ සමයට අයත් ඩොලර් මිලියන100කට අධික වටිනාකමින් යුතු පෞරාණික රන් භාණ්ඩ සොරකම් කර පලා ගිය කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ රහස් පරීක්ෂකයන් සියයකට වැඩි පිරිසක් අඛණ්ඩව සෝදිසි මෙහෙයුමක නිරතව සිටි අතර, එක් කොල්ලකරුවකු අත්අඩංගුවට පත්වී ඇත්තේ ඇල්ජීරියාවට පලා යෑම සඳහා පැරිස් නුවර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
සෙසු පුද්ගලයා පැරිස් අගනුවරින් පිටත ප්‍රදේශයකදී අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ.
මිනිත්තු 7ක් ඇතුළත සිදුවූ ලූව්ර් කෞතුකාගාරයේ කොල්ලය සම්බන්ධව එහි ආරක්ෂ අංශයට දැඩි චෝදනා එල්ල වී ඇති අතර, ප්‍රංශයේ පොලිස් මූලස්ථානය ඊට මීටර් 800ක පමණ දුරින් පිහිටීම හේතුවෙන් දැඩි ආරක්ෂාව සහිත කෞතුකාගාරයක් ලෙස ප්රකටව තිබූ බව ද වාර්තා වේ.

