free web stats

ලෝක කුසලාන අවසන් සටනට එන දකුණු අප්‍රිකානු කාන්තාවෝ

එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 125කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (29) දින සමත් විය.

ගුවහාතිහිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමි වූ ලකුණු 320ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 42.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 194ක් පමණයි.

මෙය වසර 52ක (1973 වසරේ සිට) ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලාන තරගබිමේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමක් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව වේ.

ඒ අනුව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව හා බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම්වලින් පසු අවසන් මහා තරගයක් ක්‍රීඩාකරන රට බවට ඔවුන් පත්විය.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා දෙකකදී අවසන් පූර්ව වටයේ දී එංගලන්තය සමගින් ක්‍රීඩාකර තිබූ අතර, ඒ අවස්ථා දෙකේදීම ඔවුන් පරාජය විය.

එමෙන්ම සමස්තයක් ලෙස දකුණු අප්‍රිකානු පිරිමි හෝ හෝ කාන්තා කණ්ඩායමක් එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ද මෙය වේ.

ඔවුන් (කාන්තා/පිරිමි) අවස්ථා 09කදී එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරගය ක්‍රීඩාකර ඇති වුවත්, ඊයේ ලැබූ ජය හැරෙන්න අවස්ථා 07කදීම පරාජය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *