රටේ ක්‍රියාත්මක වෙන්නේ පාතාල සංස්කෘතියක්
අද රටේ ක්‍රියාත්මක වන්නේ සංවර්ධන සංස්කෘතිය නොව පාතාල සංස්කෘතියක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැදකොළඹ ආසනයේ නැඟෙනහිර මාලිගාවත්ත සහ ඛෙත්තාරාම කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පෙරේදා (01) පැවැති ජන හමුවක් අමතමින්.
එහිදී ඒ මහතා මෙසේද පැවසූවා,
අද වනවිට රටේ ජනතාව අපේක්ෂා කළ අලුත් ශ්‍රී ලංකාව නිර්මාණය වී ඇති ද කියා ගැටලුවක් තිබෙනවා. නගර සභාවේ බලය, පාර්ලිමේන්තුවේ හා ජනාධිපති බලයත් තියාගෙන වත්මන් රජය කියපු දේවල්, දෙනවා කිව්ව සහන, පොරොන්දු වූ දේවල්, කරනවා කී සේවාව ඉටු කරන පාටක්වත් නැහැ.
සංවර්ධනයෙන් බැබළෙන නගරයක් බවට පත් කරනවා යැයි කියූ දේවල් අද කිසිවක් ඉටු වී නැහැ. ජනතාව ගෙදරින් එළියට බහින විට නැවත ගෙදර එනවාද නැද්ද කියා විශ්වාස නැහැ. පාතාල සංස්කෘතියක් නිර්මාණය වී තිබීමත් තැන තැන වෙඩි පත්තුවීමත් නිසා මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා.
ජනතාවට අද සමාජ ආරක්ෂාව පවා අහිමි වෙලා. නීතිය හා සාමය මැර කල්ලිවලට පාතාල කල්ලිවලට බදු දීලා. මේ නිසා රටම බියෙන් සැකෙන් පෙළෙනවා.
පාතාලය සමාජය පාලනය කරන විට ප්රජාතන්ත්රවාදය විනාශ වීමත් මෙහි වාසිය යන්නේ ප්රජාතන්ත්රවාදය බැහැර කර තනි පක්ෂ පාලනයක් රටේ ඇති කරන්න උත්සාහ කරන වත්මන් ආණ්ඩුවට බව විපක්ෂ නායකවරයා පැවසූවා.

