මත්ද්‍රව්‍ය වලට එරෙහි සටනට අපි අත්දෙකම ඔසවා සහාය දෙනවා
විපක්ෂයේ පිරිසක් එක්ව මේ මස 21 වැනිදා නුගේගොඩදී පවත්වන රැලියට හිටපු ජනාධිපතිවරුන් කිසිවෙක් සහභාගී කර නොගැනීමටත්, ඉදිරියේදී පැවැත්වෙන රැලිවලට ඔවුන් සහභාගී කරවාගැනීමටත් සංවිධායක මණ්ඩලයට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කරම්න් මහලේකම් වරයා පැවසූවේ,
“විශාල ප්‍රසිද්ධියක් වගේම වැඩි බරක් දෙමින් මත්ද්‍රව්‍යවලට එරෙහි සටනට සහ පාතාලය මඬින සටනට අවතීර්ණ වී තිබෙනවා. මෙයට අපි සියයට දෙසීයක් එකඟයි. අපි අත්දෙකම ඔසවා ජනාධිපතිවරයාට ඒ වෙනුවෙන් සහාය දෙනවා. මෙහි තිබෙන අවංකභාවය සම්බන්ධයෙන් අපට විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මේ ආණ්ඩුවේ අය බලය ගැනීමට පෙර රටේ තිබූ විවිධ ප්‍රශ්න ගැන බොහොම තදින් කතා කළා. අධ්‍යාපන, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බදු අඩු කිරීම, විදුලි බිල අඩු කිරීම, කංචන විජේසේකර ඇමැතිවරයාට යන කොමිස් මුදල නවත්වා ඉන්ධන රුපියල් 100ට වගේ ගණනකට ජනතාවට දීම, සහල් පිටරටින් ගෙන්වීම නතර කිරීම, ගොවියා ආරක්ෂා කිරීම, රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම, ජනාධිපතිවරයාගේ වියදම් අවම කිරීම වගේ දේවල් ප්‍රධාන ලෙසම කතා කළා.
2005 – 2015 කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ මේ රටේ පාතාලයට සහ මත්ද්‍රව්‍යයට එරෙහිව විශාල සටනක් කළා. ඒ කාලයේ තමයි ඔය පාතාල නායකයන් වගේම මත්ද්‍රව්‍ය ගෙන්වන නායකයන් රට අත්හැර ගොස් වෙන රටවල සැඟවී තමන්ගේ ව්‍යාපාර කටයුතු මෙහෙයවීම ආරම්භ කළේ. පහුගිය රජය යටතේ යුක්තිය කියලා මෙහෙයුමක් ආරම්භ කර පාතාලය සහ මත්කුඩු මඬින්න කටයුතු කළා.
අපට මතකයි, 2015 වන විට ඉතාම සාර්ථක ආකාරයෙන් මැඬගෙන ගිය පාතාලය 2015 – 2019 දක්වා තිබූ රජය යටතේ යම්කිසි නැඟිටීමකට ලක්වුණා. පසුව 2019 පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙත්, ඉන්පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙත් කාලවල නැවත මේ පාතාලය සහ මත්කුඩු මර්දනයට ලක්වුණා.
මේ මත්ද්‍රව්‍ය මෙතරම් ප්‍රමාණයක් රටට කෙසේ ද පැමිණියේ කියන කාරණය මේ රජය විසින් ජනතාවට පැහැදිලි කළ යුතුයි. මේ රජය පොරොන්දු වුණා කාදිනල්තුමාට පාස්කු දා ප්‍රහාරයේ මහා මොළකරු අල්ලනවා කියලා. ඒ සම්බන්ධයෙන් දින වකවානු දුන්නා. දැන් මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය ඉදිරියට දාලා වීරයෙක් බවට පත්වෙලා කාදිනල්තුමාගේත් කට වහන්න හදනව ද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. කාදිනල්තුමාත් රැවටුණා නොවේ, කාදිනල්තුමා ඔබලාව විශ්වාස කළා. අඩු තරමේ කාදිනල්තුමාගේ විශ්වාසය රකින්න කියන කාරණයවත් මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”

