නිවාස සිහිනය වෙනුවෙන් යකඩ බදු අඩු කරන්න
තරුණ පරම්පරාවේ නිවාස සිහිනය සැබෑ කිරීමට නම් යකඩ සඳහා අය කරන ඉහළ බද්ද අඩු කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
“යකඩ සඳහා අය කරන බද්ද වැඩියි. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී ඉහළ බද්දක් ගෙවීමට සැමට සිදු වෙනවා. අද තරුණ තරුණියන් විවාහ ජීවිතයට පත්වී හෝ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින විට ඔවුන්ගේ සිහිනයක් තිබෙනවා.
එය තමයි තමන්ගේම කියා හිසට වහලක් සහිත නිවසක් ඉදිකර ගැනීම. නිවසක් ඉදිකර ගැනීමේදී යකඩ සඳහා අයකරන බද්ද වැඩියි. ඒ නිසා මිලියන ගණනක් වන තරුණ පිරිසක් විශාල පීඩාවකට පත්වෙනවා. බදු ආදායම වැඩිකර ගැනීම රටකට හොඳයි. නමුත් බදු ප්‍රතිශතය තීරණය කිරීමේදී අතවශ්‍ය අංශවලට සහන පිළිවෙතක් අනුගමනය කළ යුතුයි. ඉන් ලැබෙන ප්රතිලාභවල උරුමකරුවන් වීමට කී දෙනෙකුට හැකිදැයි සිතා බැලිය යුතුයි.
බදු ප්‍රතිපත්ති සම්පාදකයින් සමාජ ප්‍රශ්න පිළිබඳව ගැඹුරින් සිතා බලා තීන්දු තීරණ ගත යුතුයි.”

