ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ තරගය අද
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය පළමු තරගයට එක්වීමට නියම්තයි.
අද මෙරට වේලාවෙන් පස්වරු 6.30ට තරගය ආරම්භ වන අතර, ශ්‍රී ලංකා පිල හිටපු නායකයකු වූ දසුන් ශානකගේ නායකත්වයෙන් යළි පිටියට පිවිසෙන්නේ වසර දෙකහමාරකට පසුවයි.
2019 විස්සයි20 නායකත්වයට පත්වූ දසුන් අවසන් වරට 2023 වසරේ අප්‍රේල් මස නවසීලන්ත සංචාරයේදී කණ්ඩායම මෙහෙයවූවා. ඔහුගේ නායකත්වය යටතේ තරග 48ක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව තරග 22ක් ජය ගැනීමට සමත්ව ඇති අතර, තරග 24ක් පරාජය වී තරග 2ක් ලකුණු සම වීමෙන් නිමා වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මෙතෙක් විස්සයි20 තරග 9ක් පවත්වා ඇති අතර, ඉන් තරග 7ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. තරග දෙකක ජය සිම්බාබ්වේ පිල සතුව ඇත.
එක්දින තරගාවලිය පරාජය වුවත් මේ තරගාවලිය ජය ගැනීම අරමුණ බව විස්සයි20 නායක දසුන් ශානක තරගාවලිය ආරම්භ වීමට පෙර පැවති මාධ්‍ය හමුවේදී පැවසූවා.
“අපි එක්දින තරගාවලිය පරාජය වුණත් විස්සයි20 තරග රටාව ඊට ගොඩක් වෙනස්. අපි ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්. මේ තරගාවලියේදී එක්දින තරගාවලියෙන් අපේ ක්‍රීඩකයන් කිහිපදෙනකුත් වෙනස් වෙනවා. කුසල් ජනිත්, භානුක රාජපක්ෂ, නුවන් තුෂාර ඉන්නවා. ඉතිං අපි අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් උපරිමය ලබාගත යුතුයි. ඒ වගේම තරුණ ක්‍රීඩකයන්ටත් අවස්ථාවක් දිය යුතුයි. අපි මෙහි ආවේ තරග දිනන්න. ඉතිං අපේ අඩුපාඩු හදාගෙන මේ තරගාවලිය හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”
ලකුණු 20-30ක් රැස් කළාට තරගයක් ජයගත නොහැකි බවත්, කණ්ඩායම් කිසිවකු හෝ ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නවා නම් තමන් කැමති බවත් කී නායකයා, ශ්‍රී ලංකාවේ දේශගුණයට වඩා පාකිස්තානයේ දේශගුණය වෙනස් වුවත් වෘත්තීය ක්‍රීඩකයන් ලෙස එවැනි තත්ත්වයන් යටතේ ක්‍රීඩා කළ යුතු බවත් පැවසූවා.
මේ අතර තුන්කොන් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් සත්කාරක පාකිස්තානය කඩුලු 5ක ජයක් හිමිකර ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.
එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ලකුණු 147ක් රැස් කළ අතර, පාකිස්තානය පන්දු 4ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 5ක් දැවී තිබියදී.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, භානුක රාජපක්ෂ, පවන් රත්නායක, දුෂාන් හේමන්ත, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ඒෂාන් මාලිංග, මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග, නුවන් තුෂාර, විජයකාන්ත් වියස්කාන්ත්.

