ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව හා ජෝර්දානය එක්වෙයි
ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගැනීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජෝර්දානයේ අබ්දුල්ලා රජු අතර සාකච්ඡා පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
කලාපීය ගැටලු සාකච්ඡා කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරමින් රටවල් තුනක නිල සංචාරයක් ආරම්භ කළ ඉන්දීය අගමැතිවරයා එම සංචාරයේ පළමු ගමනාන්තය වන ජෝර්දානය වෙත සේන්දු වීමෙන් පසු අම්මාන් අගනුවර හුසේනියා මාළිගාවේදී එම සාකච්ඡාව පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අරඹා මේ වසරේදී 75 වැනි වසර සම්පූර්ණ වන අතර, දෙරට අතර පුනර්ජනනීය බලශක්ති, ජලමූලාශ්‍ර කළමනාකරණය සහ සංවර්ධනය, සංස්කෘතික හුවමාරු වැඩසටහන්, ඩිජිටල් යටිතල පහසුකම් ක්ෂේත්‍ර සම්බන්ධව අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තබා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
වර්තමානය වන විට 17,500ක ඉන්දීය ජාතිකයන් පිරිසක් ජෝර්දානයේ ඇඟලුම්, ඉදිකිරිම් සහ සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්රවල විවිධ රැකියාවේ නිරතවන බව වාර්තා වේ.

