ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුවට රතෝර් එයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දුවට පහර දීමේ පුහුණුකරු වන වික්‍රම් රතෝර් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
මේ වසරේ පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම කෙරෙහි මූලික අවධානය යොමු කරමින් උපදේශක පදනමක් මත රතෝර් මහතා පත් කර තිබෙනවා.
ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයකු වන වික්‍රම් රතෝර් මහතා මේ මස 18 වැනිදා සිට මේ වසරේ මාර්තු 10 වැනිදා දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කරනු ඇත.
ඔහු 2019 සැප්තැම්බර් වසර 5කට ආසන්න කාලය තුළ ඉන්දීය පිරිමි ජාතික කණ්ඩායමේ සියලුම ආකෘති සඳහා පන්දුවට පහර දීමේ පුහුණුකරු ලෙස සේවය කර ඇත.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය යටතේ වන පුහුණුකරුවන්ගේ තෙවැනි ශ්‍රේණිය, ක්‍රිකට් ඔස්ට්‍රේලියා පුහුණුකරුවන්ගේ තෙවැනි ශ්‍රේණිය සහ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනයේ පළමු ශ්‍රේණියේ පුහුණුකරුවකු ලෙස ඒ මහතා පුහුණු සුදුසුකම් සපුරා තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන සහාය පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කරමින් සිට්යි.

