ලාල්කාන්ත බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කරනවා
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මිහින්තලය රජමහා විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේට පසුගියදා වනචාරියා ලෙස හඳුන්වමින් අපහාස කර ඇති බවත් මෙසේ බෞද්ධ ආගමික නායකයෙකුට අපහාස කිරීම තමා තරයේ හෙළාදකින බවත් නාමල් රාජපක්ෂ පැවසූවා.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR) පනතෙහි “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම්, නොකළ යුතුය” ලෙස දක්වා ඇති අතර ලාල්කාන්ත මෙහිදී ආගමික ද්වේෂය පතුරවා ඇති බව පෙනී යන බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දෙයි.
නීතිය සැමට සමාන නම් බෞද්ධ නායකයින් ඉලක්ක කරගෙන සිදු කරන අපහාසයන් හා ආගමික ද්වේශය පැතිරවීම ගැන මෙම පනතට අනුව ලාල්කාන්තට ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවාද යන්න තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද ඔහු පැවසූවා.
සමාන්‍ය පුරවැසියකු හෝ විපක්ෂයේ කිසිවකු මෙසේ නීතිය කඩ කළා නම් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් ලාල්කාන්ත ආගමික ද්වේෂය පැතිරවීම හා මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ආණ්ඩුව නිහඬ බවත් ඔහු පවසනවා.
දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය අතර විවිධ මතිමතාන්තර තිබුණද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහාස සිදුකර නොමැති බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසූවා.

