ට්‍රම්ප්ට එරෙහිව ඩෙන්මාර්කයේ දැවැන්ත විරෝධතා
ග්‍රීන්ලන්තය අමෙරිකා එක්සත් ජනපදයට ඈඳා ගැනීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩපිළිවෙළට විරෝධය පා ඩෙන්මාර්කයේ දැවැන්ත විරෝධතාවක් නිර්මාණය වී තිබෙනවා.
ඩෙන්මාර්කය විසින් ග්‍රීන්ලන්තය පාලනය කරනු ලබන අතර එය ස්වයං පාලන ප්‍රදේශයකි.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව ඩෙන්මාර්කයේ ජනතාව වීථි බැස දැවැන්ත විරෝධතාවක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහිදී විරෝධතාකරුවන් සිය සටන් පාඨ මගින් සඳහන් කර ඇත්තේ ග්‍රීන්ලන්ත වැසියන්ගේ ස්වයං නිර්ණ අයිතියට එක්සත් ජනපදය ගරු කළ යුතු බවයි.
උපායමාර්ගික පිහිටීම සහ ඛනිජ සම්පත් විශාල ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් ග්‍රීන්ලන්තය එක්සත් ජනපද ආරක්ෂාවට අත්‍යවශ්‍ය වන බව ට්‍රම්ප් පවසා ඇති අතර එය අත්පත් කර ගැනීම සඳහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ දරමින් සිටියි.
කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ප්‍රති උත්තර ලබා දෙමින් ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය පවසා ඇත්තේ ග්‍රීන්ලන්තය විකිණීමට නොමැති බවත් ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ තමන් නොසැළෙන බවත්ය.
කෙසේ නමුත් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමග යුරෝපීය රටවල් රැසක් ග්‍රීන්ලන්තයට සිය හමුදා නිලධාරීන් යෙදවීමට පියවර ගත් බවත් ඒ අනුව ජර්මනිය සහ ප්‍රංශයද සිය හමුදා නිලධාරීන් ප්‍රමාණයක් ග්‍රීන්ලන්තය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව රටවල් රැසක් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.
එම රටවල විරෝධතා සහ යුරෝපීය රටවල් ග්‍රීන්ලන්තයට සිය හමුදා නිලධාරීන් යෙදවීමට ගත් පියවරත් සමග අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවූයේ ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට ඈඳා ගැනීමේ සිය වැඩපිළිවෙළට බාධා කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවයි.
කෙසේ නමුත් එළැඹෙන පෙබරවාරි 01 වැනිදා සිට එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය සහ අනෙකුත් යුරෝපීය රටවලට නව තීරුබදු පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.
ග්‍රීන්ලන්තය යනු ජනාකීර්ණ නොවන නමුත් සම්පත්වලින් පොහොසත් භූමියකි.
එමෙන්ම උතුරු අමෙරිකාව සහ ආක්ටික් අතර පිහිටා ඇති ග්‍රීන්ලන්තය, මිසයිල ප්‍රහාරවලදී අමෙරිකාවට පූර්ව අනතුරු ඇඟවීම් පද්ධති සඳහා සහ කලාපයේ යාත්‍රා නිරීක්ෂණය කිරීමට සුදුසු ස්ථානයක් ලෙසද සැලකේ.

