රුසියාවෙන් යුක්රේනයට ගුවන් ප්‍රහාර
යුක්රේන යුද අර්බුදයට විසඳුමක් සොයා රුසියා, අමෙරිකා සහ යුක්රේන නියෝජිතයන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවරදී පළමුවරට පැවති ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අතරතුර රුසියානු හමුදාවෙන් යුක්රේනයේ ඉලක්ක වෙත දරුණු ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රහාරයත් සමඟ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව තීරණයකින් තොරව නිමාවට පත්වූ බව ද වාර්තා වේ.
යුක්රේනයේ කීෆ් අගනුවර සහ ඊසානදිග නගරයක් වන කාකීෆ් වෙත එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් 35 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ වෙතත් ත්‍රෛපාර්ශ්වික දෙවැනි වටයේ සාකච්ඡාවක් නැවත වරක් අබුඩාබි නුවරදීම පැවැත්වීමට අමෙරිකාවේ අවධානය යොමු වී ඇති අතර, යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි ද ඊට එකඟතාව පළ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වසර 4ක් පුරා ඇදී යන යුක්රේන යුද අර්බුදය නිමා කිරීම සඳහා අබුඩාබි නුවර පැවති දෙදින සාකච්ඡාවට යුක්රේනය වෙනුවෙන් එරට ආරක්ෂක ඇමැති රස්ටම් උමේරොව් සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානි කිරිලෝ බුඩානොව් ද, රුසියාවේ ත්‍රිවිධ හමුදාවේ සහ බුද්ධි අංශයේ ඉහළ නිලධාරින් ද සහභාගි වී ඇති අතර, මැදිහත් පාර්ශ්වකරු වන අමෙරිකාව නියෝජනය කරමින් ජනාධිපති ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටිව් විට්කොෆ්, බෑනණුවන් වන ජෙරාඩ් කුෂ්නර් සමඟ ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරු පිරිසක් සහභාගි වී ඇතැයි වාර්තා වේ.

