“නීපා” නිසා සෞඛ්‍ය අංශ විශේෂ අවධානයකින් කටයුතු කරනවා
ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්තව ඇති නිපා වෛරසය සම්බන්ධව මෙරට සෞඛ්‍ය අංශ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට සංචාරක පැමිණීමද වර්ධනය වෙමින් පවතින බැවින් මින් පෙර සිටම ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය ගුවන් තොටුපළ ආශ්‍රිතව සිදුකරමින් පවතින බවයි.
මාරාන්තික නිපා වෛරසය ඉන්දියාව පුරා පැතිර ගොස් ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළ වී තිබූ බැවින් එළැඹෙන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයේදී එම තරගය නැරඹීමට වැඩි සංචාරකයින් පිරිසක් පැමිණීමට අපේක්ෂා කරන බැවින් මෙම වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ සූදානම පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසූවා.
ඒ අනුව මේ සම්බන්ධව මින් පෙර සිටම අවධානය යොමු කරමින් සෞඛ්‍ය අංශ කටයුතු කළ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ සංචාරක පැමිණීම වර්ධනය වෙමින් පවතින පසුබිමක මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බවත් ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානමින් පසුවන බවයි.
“මේ වෛරසය ඉන්දියාවේ හඳුනාගෙන මරණ කිහිපයක් වාර්තා වුණාට පසුව ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ ගැන අවධානය යොමු කළා. අදටත් අපි ලංකාවට එන සංචාරකයක් ඇතුළුව සියලු දෙනා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු අපි ගුවන් තොටුපොළේදී සිදුකරමින් පවතිනවා. මේකේ මාරාන්තික ස්වභාවය වැඩියි. පහුගිය කොවිඩ් වසංගතය වගේ නෙමෙයි ඊට වඩා වෙනස් තත්ත්වයක් පවතින්නේ. සෞඛ්‍ය අංශවල අවබෝධය සහිතව ඒ ගැන අදාළ ආයතන කටයුතු කරමින් පවතිනවා. අපි නිතරම අවධානෙන් ඉන්නවා. පසුගිය දවස් 4 ඇතුළතදී සංචාරකයින් 40,000කට වැඩි ප්‍රමාණයක් ආවා. ජනවාරි මාසේ සංචාරකයින් 277,000ක් ආවා මෙතෙක් ඉතිහාසයේ ජනවාරි මාසයේදී සංචාරකයින් ආපු වැඩිම මාසය. ඒ නිසා සංචාරක පැමිණීමත් වැඩිවෙලා තිබෙන වෙලාවේ ඒ ගැන අවධානෙන් ඉන්නවා අවශ්‍ය ක්‍රියාමාර්ගවලට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම්.”

