විපක්ෂයට චෝදනා නොකර ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න
විපක්ෂයට චෝදනා නොකර ජනතාවගේ ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුව කඩිනමින් ක්රියාමාර්ග ගතයුතු බව හිටපු රාජ්ය ඇමැති ජානක වක්කුඹුර මහතා ප්රකාශ කළා.
ඒ මහතා මේ බව ප්රකාශ කළේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (10) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී හිටපු රාජ්ය ඇමැති ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් පැවසූවේ.
“වත්මන් ආණ්ඩුව බලයට පත්වුණේ මේ රටේ මහ පාරේ තමන්ගේ ඉල්ලීම් දිනාගන්න කෑගහපු පිරිස නිසයි. බලයට පත්වුණු ගමන් ප්රකාශ කර සිටියා කිසිම කෙනෙක් උද්ඝෝෂණ කළ යුතු නැහැ. ඒ පිරිසගේ ආණ්ඩුවක් තිබෙන්නේ කියලා. නමුත් අද තමන්ගේ ඉල්ලීම දිනාගන්න තමන්ගේ ගමේ ඒ ප්රදේශයේ උද්ඝෝෂණයක් කරලවත් බැරි වී තිබෙනවා.
ඒ නිසා අද සියලුදෙනාට ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට එන්න සිදු වෙලා තිබෙනවා. එයට හේතුව මේ ආණ්ඩුව ඒකාධිපති ආණ්ඩුවක් වීමයි. දැන් මාදැල්කරුවන් විශාල පිරිසක් ඇවිත් උද්ඝෝෂණ කරනවා. දැන් එයට කියා සිටින්නේ අධිකරණයේ ප්රශ්නයක් තිබෙනවා ඉන්පසු සාකච්ඡා කරන්නම් කියලා. මීට පෙර මෙවැනි ප්රශ්න තිබුණා නම් ප්රශ්නය කතා කරන්න පුළුවන්. කතා කරලා පිළිතුරක් ලබාදෙන්න පුළුවන්. හැබැයි දැන් මොවුන් සෑම ප්රශ්නයක්ම යටගහනවා. උද්ඝෝෂණයක් කරන විට ඒ පිරිසට විරුද්ධව දැන් ඇමැතිවරු යම් යම් ප්රකාශ සිදුකරනවා.
මේ ආණ්ඩුව බලයට පත්කරන්න මහන්සි වූ පිරිස තමයි මේ අද උද්ඝෝෂණ කරන්නේ. නමුත් මේ වර්තමාන ආණ්ඩුවේ පිරිසට අමතක වී තිබෙනවා ඔවුන් මෙතැනට පැමිණියේ කොහොම ද ? එයට උදවු කළේ කවුද කියලා. ඒ සියල්ල අමතක කර තිබෙනවා”

