බංග්ලාදේශයේ මහමැතිවරණය අදයි
ශෙයික් හසීනාගේ පාලනය බිඳ වැටීමෙන් පසු බංග්ලාදේශයේ පළමු මහමැතිවරණය අද (12) පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරනවා.
එරට පාර්ලිමේන්තුවේ ආසන 300ක් සඳහා අපේක්ෂකයන් 1981ක් තරග වදින මෙවර බංග්ලාදේශ මැතිවරණයට ඡන්දදායකයන් මිලියන 127කට වැඩි පිරිසක් ලියාපදිංචි වී සිටින බව ද වාර්තා වේ.
අද පැවැත්වෙන එරට මැතිවරණයෙන් ආසන 151ක් දිනා ගන්නා පක්ෂයට රජයක් පිහිටුවීමට අවස්ථාව ලැබෙන අතර, පාර්ලිමේන්තුවේ බහුතර බලය සඳහා සෙසු පක්ෂ සමඟ සන්ධානගත වීමේ අවස්ථාව ද හිමිවනු ඇත.
මැතිවරණ කොට්ඨාස 350ක ඡන්දය පැවැත්වෙන බවත්, ආසන 300ට අමතරව සෙසු ආසන 50 සඳහා කාන්තා අපේක්ෂකයන් තෝරා ගැනීමට මැතිවරණයෙන් ජයගන්නා පක්ෂවලට සමානුපාතිකව ආසන වෙන් කර ඇතැයි බංග්ලාදේශයේ මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
මෙවර මැතිවරණයේදී තරීක් රහ්මාන්ගේ නායකත්වයෙන් යුතු බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සහ ෂෆිකුර් රහ්මාන්ගේ නායකත්වයෙන් යුතු ජමාටි ඉස්ලාමි පක්ෂය ඉදිරියෙන් පසුවන බවත්, සෙයිඩ් රෙසාවුල් කරීම්ගේ නායකත්වයෙන් යුතු ඉස්ලාමි අන්ඩෝලන් බංග්ලාදේශ් පක්ෂය ද ප්‍රධාන පක්ෂ අතර සිටින බවත් වාර්තා වේ.
ශෙයික් හසිනාගේ නායකත්වයෙන් යුතු අවාමි ලීග් පක්ෂය තහනම් කිරීම හේතුවෙන් එම පක්ෂයේ ඇතැම් නියෝජිතයන් ස්වාධීන අපේක්ෂකයන් ලෙස තරග වදින බව ද වාර්තා වේ.

