සිඟමන් යැදීම වෘත්තීයක් ලෙස ජයට කරන පකිස්තානුවෝ
සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල පාකිස්තාන ජාතිකයන් සිඟමන් යැදීම බරපතළ ගැටලුවක් බවට පත්වී ඇති බවත්, යාචකයන්ගේ සංවිධානාත්මක ජාල හරහා නිවාස මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් උපයා ගන්නා බවත් පාකිස්තාන ආරක්ෂක ඇමැති කවාජා අසීෆ් අනාවරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාකිස්තාන ජාතිකයන් මැදපෙරදිග රටවල සිඟමන් යැදීම සංවිධානාත්මක වෘත්තියක් බවට පත් වී ඇතැයි ද පාකිස්තාන ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
එවැනි තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් ගල්ෆ් රටවල් පාකිස්තානුවන්ට වීසා නිකුත් කිරීම අත්හිටුවීමට ද පියවර ගෙන ඇති අතර, දරුවන්, කාන්තාවන් සහ ව්‍යාජ ආබාධිත පුද්ගලයන් බඳවා ගනිමින් බිලියන ගණනාවක මුදල් උපයන ජාවාරමක් සිදුවන බවට ද තොරතුරු පළ වී තිබෙනවා.
පාකිස්තාන මානව සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ සිඟමන් යැදීම ඇතුළු චෝදනා මත වසර 2019 සිට 2025 දක්වා කාලසීමාව ඇතුළත පාකිස්තානුවන් 7,800ක් ගල්ෆ් රටවලින් පිටුවහල් කර ඇති බවයි.
එසේ පිටුවහල් කරන පුද්ගලයන්ගේ විදේශ ගමන් බලපත්‍ර අවලංගු කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇතැයි ද වාර්තා වෙනවා.

