බංග්ලාදේශයේ පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩත්වය හිස ඔසවයි
බංග්ලාදේශයේ පශ්චාත් මැතිවරණය ප්රචණ්ඩත්වය හිස ඔසවා ඇතැයි එරට ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කරනවා.
මැතිවරණයෙන් පසුදින සිකුරාදා පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලසීමාව ඇතුළත එරට දිස්ත්‍රික්ක පහක පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සිදුවී ඇති අතර, එම සිදුවීම්වලින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත්, තවත් පස්දෙනකු තුවාල ලබා ඇති බවත් ඩේලි ස්ටාර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
මියගොස් ඇත්තේ ඔස්මාන් සර්දාර් නමැති 29 හැවිරිදි තරුණයකු බවත්, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ සහ විරුද්ධ පාක්ෂික ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමකින් ඔහු මියගිය බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.
මේ අතර මධ්‍යම බංග්ලාදේශයේ රාජ්ෂහි නගරයේ පෙරේදා සිදුවූ වෙඩි තැබීමකින් 50 හැවිරිදි පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වී ඇති අතර, නාඳුනන පිරිසක් විසින් එම වෙඩි තැබීම සිදු කර ඇතැයි වාර්තා වේ.
ඩකා අගනුවර ආසන්නයේ පිහිටි කුඩා දිස්ත්‍රික්කයක් වන නාරයන්ගන්ජ් හි ජාතිකවාදි පක්ෂ කාර්යාලයකට යම්කිසි පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි ඩකා පොලීසිය ප්‍රකාශ කළ බව එරට ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කළා.
සැකකරුවන් පක්ෂ කාර්යාලයේ වීදුරු කවුළු බිඳ එතුළින් පෙට්‍රල් දමා ගිනි තබා ඇතැයි ද, සිදුවීමට සම්බන්ධ දෙදෙනකු හඳුනාගෙන ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජාතිකවාදී පක්ෂ සමාජිකයන් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න නිවා දැමිමට සමත්වී ඇති අතර, කාර්යාලයේ ගෘහභාණ්ඩ ගින්නෙන් විනාශ වී ඇතැයි ද ඩේලි ස්ටාර් පුවත් සේවය සඳහන් කරනවා.

