ලෝක කුසලාන දෙවැනි ශතකය යුවරාජ්ගෙන්
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට කැනඩාවේ යුවරාජ් සම්රා සමත් විය.
කෙසේ වෙතත් මේ තරගය ජය ගනිමින් සුපිරි 8 වටයට එක් වූ 6 වැනි කණ්ඩායම බවට පත්වීමට නවසීලන්තය සමත් විය.
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැනඩා පිල කඩුලු 4ක් දැවී ලකුණු 173ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය නවසීලන්තය ඕවර 15.1කදී ජය හිමිකර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමින්.
ලකුණු 30ක් තුළ ආරම්භක පිතිකරුවන් දැවී ගිය අතර, අනතුරුව එක් වූ රචින් රවින්ද්‍ර සහ ග්ලේන් පිලිප්ස් නොබිඳුණු සබඳතාවක් ගොඩනඟමින් නවසීලන්තය ජයග්‍රහණය කරා ගෙන ගියා.
පිලිප්ස් පන්දු 36කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 76ක් රැස් කළ අතර, රවින්ද්‍ර පන්දු 39කින් ලකුණු 59ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින්.
පළමුව පන්දුවට පහරදුන් කැනඩා පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ යුවරාජ් සම්රා මෙවර තරගාවලියේ දෙවැනි ශතකලාභියා බවට පත් වූයේ ලකුණු 110ක් රැස් කරමිනි. පන්දු 65කදී හතරේ පහර 11කින් සහ හයේ පහර 6කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු රැස් කළේ කැනඩා පිතිකරුවකු වාර්තා කළ පළමු ලෝක කුසලාන ශතකයයි.
සම්රා පළමු කඩුල්ලට දිල්ප්‍රීත් බජ්වා සමඟ එක්ව ලකුණු 116ක සබඳතාවක් ගොඩනැඟුවේ ලෝක කුසලාන ඉතිහාසයේ කැනඩාව වෙනුවෙන් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැඟු ඉහළම සබඳතාව ලෙසින්.

