සිරගත වී සිටින ඉම්රාන්ගේ අක්ෂි ආබාධයට යළිත් සැත්කමක්
සිරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ අක්ෂි ආබාධයට ප්‍රතිකාර ප්‍රමාද කිරීමෙන් ඔහුගේ දකුණු ඇසෙහි පෙනුම 85%කින් අහිමි වී ඇතැයි ඔහුගේ නීතිඥවරු චෝදනා කිරීම හේතුවෙන් ඔහු දෙවැනි වරටත් සැත්කමකට භාජනය කිරීමට තීරණය කළ බව පාකිස්තාන රජය ප්‍රකාශ කර තිබෙනවා.
73 හැවිරිදි හිටපු අගමැතිවරයා ජනවාරි මස අගභාගයේදී අක්ෂි සැත්කමට භාජනය වූ අතර, රජයේ රෝහලකදී සිදු කළ එම සැත්කමකින් ඉම්රාන් ඛාන්ගේ දකුණු ඇසෙහි ලේ කැටියක් ඉවත් කිරීමෙන් පසු පූර්ණ සුවය ලැබූ බවට පාකිස්තාන රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
එහෙත් පාකිස්තානය රජය සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ඔහුගේ සොහොයුරිය වන අලීමා කානුම් සඳහන් කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළා.
වසර 2023 අගෝස්තුවේ සිට සිරගත වී සිටින හිටපු අගමැතිවරයාගේ අක්ෂි ආබාධය සම්බන්ධ පරික්ෂණ සහ ප්‍රතිකාර සොයා බැලීමට ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයාට සහ පවුලේ සාමාජිකයන්ට අවසර නොදීම හේතුවෙන් පාකිස්තාන රජයේ ප්‍රකාශය තරයේම ප්‍රතික්ෂේප කරන බව අලීමා කානුම් ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් පාකිස්තානයේ තොරතුරු ඇමැති අතාවුල්ලා තරුර් ප්‍රකාශ කර ඇත්තේ ඉහළම මට්ටමේ අක්ෂි විශේෂඥයන්ගේ අධීක්ෂණය යටතේ ඉම්රාන් ඛාන් වැඩිදුර පරීක්ෂාවට යොමු කිරීමට නියමිත බවයි.
ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා සඳහන් කර ඇත.

