free web stats

සිසුවිය පැහැර ගත් සැකකරුට දුන් නියෝගය

ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පාසල් සිසුවියක් පැහැර ගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ඊට අනුබල දුන් තවත් සැකකරුවෙකු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

සැකකරුවන් ඊයේ (15) ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා.

පසුගිය 11වනදා වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම දැරිය පැහැරගෙන යනු ලැබ්ණි.

ඒ අනුව ඊට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම සඳහා දවුලගල පොලිස් ස්ථානය සහ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් එක්ව විමර්ශන ආරම්භ කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 13වනදා අම්පාර නගරයේදී මෙම පැහැරගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.

එමෙන්ම පැහැරගැනීමට ලක් වූ දැරියද නිරුපද්‍රිතව පොලිස් භාරයට ගැනුණි.

ඉන් අනතුරව සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු (14) වන දා අත්අඩංගුවට ගැනීමට ද පොලීසියට හැකිවිය.

මෙම පැහැරගැනීම සඳහා සැකකරුවන් පැමිණි වෑන් රථයද පොලිස් භාරයට ගෙන තිබූ අතර, පසුව එහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළා.

මේ වනවිට පැහැරගැනීමට ලක් වූ දැරිය අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් පසු, අධිකරණය වෙත ඉදිරිපත් කර දෙමාපිය භාරයට පත් කර ඇත.

දවුලගල පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *