free web stats

E8 වීසා ජාවාරමට අහුවෙන්න එපා

දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බැව් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය සදහන් කරනවා.

එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා කියා සිටියේ E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ලබාදී නොමැති බවයි.

ඒ අනුව රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට එවැනි ක්‍රියාවක නිරත වීමට නීතිමය හැකියාක් නොමැති අතර එසේ යම් ආයතනයක් හෝ පුදගලයෙකු නිරත වීම සපුරා නීති විරෝධී වේ.

එවන් කටයුතුවලට හසුවී හෝ අනුබලදෙමින් ක්‍රියාත්මක වෙන රැකියා නියෝජිත ආයතන හෝ එසේ නොවන රැකියා නියෝජිත ආයතන මුවාවෙන් ක්‍රියාත්මක වෙන ආයතන හෝ පුද්ගලයන් හෝ අතරමැදියන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට විදේශ නියුක්ති කාර්‍යාංශ පනතේ විධිවිධාන යටතේ ක්‍රියකරනු ලැබේ.

E-8 වීසා කාණ්ඩය යටතේ කිසිදු පුද්ගලික රැකියා නියෝජිත ආයතනයකට ක්‍රියාත්මකවීමට මෙතෙක් කිසිදු අනුමැතියක් ද ලබාදී නොමැත.

E-8 වීසා යටතේ දකුනු කොරියාවේ රැකියා සදහා විදේශ ගතවීමේ උවමනාවෙන් එසේ මුදල් හෝ වෙන යම් හෝ ගනුදෙනුවක් හෝ ක්‍රියාවලියකට හෝ හසුවෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙක් කොරියාවට හෝ වෙනත් කිසිදු රටකට හෝ රැකියා සදහා විදේශ ගතවිය නොහැකි වීමේ අවධානමකට ලක්වීමට ඉඩ ඇති බැවින් එවැනි වංචනික ක්‍රියාවන්ට හසුවීමෙන් හෝ අනුබලදී මෙන් වලකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය දන්වාසිටී.

එනිසා ඔබගේ විදේශ ගතවීමේ සිහිනය වංචකරුවන්ට හසුවී බො‍‍ඳ කර නොගන්නා ලෙස සියලු ම ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටින බව කෝශල වික්‍රමසිංහ මහතා කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *