මිහින්තලේ පුදබිමට ඇවිත් ඩෝප්කාරයෝ යකා නටලා
ඓතිහාසික මිහින්තලා රජමහා විහාර භූමියට පෙරේදා (24 දා) රාත්‍රියේදී බීමත්ව වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමට හා එම පිරිස ගමන් ගත් වෑන් රථයට ස්වාමීන් වහන්සේ නමක් යට කිරීමට උත්සාහ දැරූ බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියෝ පැවසූවා.
නායක හිමියන් මේ බව කියා සිටියේ ඊයේ (25දා) පෙරවරුවේදී මිහින්තලා පුදබිමේදී පැවැති මාධ්‍ය හමුවකදීයි.
මිහින්තලා පුදබිමේ පුරාවිද්‍යාව සහ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇත්තේ හයදෙනෙකුගෙන් යුතු පොලිස් නිලධාරීන් පිරිසක් පමණක් බවත් එම නිලධාරින් ද මිහින්තලා පුදබිම තුළ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු පිරිස ගමන් ගත් එම වෑන් රථයේ අංකය හෝ තොරතුරු අනාවරණය කර ගැනීමට අපොහොසත් වී ඇති බවත් නායක හිමියෝ පැවසූවා.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක නොකර ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට එම ඇතැම් රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කරමින් සිටින බවයි.
පසුගිය රජයන්වල කටයුතු කළ දේශපාලන පිල්ලි තව දුරටත් රාජ්‍ය ආයතනවල හොල්මන් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා ලබා දෙන උපදෙස් හා නියෝග මෙලෙස ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් රටේ පවතින බව ද උන්වහන්සේ අවධාරණය කළා.
ඓතිහාසික මිහින්තලා පුදබිම අක්කර දහස් ගණනක විශාල භූමි භාගයක පිහිටා තිබෙන බැවින් එම පුදබිමේ පවතින පුරාවස්තු අනාරක්ෂිත භාවයේ පවතින බව ද පැවසූ නායක හිමියන් තව දුරටත් කියා සිටියේ, ඓතිහාසික මිහින්තලා පුද බිමේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ යොදවන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවයි.
එමෙන්ම මෙවර රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණෝ මෙහිදී සිය ප්‍රශංසාව පළ කළා.
“මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියන්ට සහ මිහින්තලා පුද බිමට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් ඉකුත්දා පොලිසියට ලිඛිතව දැනුම් දී තිබුණා.
එසේ දැනුම් දී තිබුණේ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ට පවතින ජීවිත තර්ජන සම්බන්ධයෙන් කරන ලද විශ්ලේෂණ වාර්තාවක් පදනම් කර ගනිමින්ය.