free web stats

ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් බස්රථ 700ක් ධාවනයට

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් බස්රථ 700ක් අද (09 දා) සිට 17 වැනිදා දක්වා ක්‍රියාත්මක බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා ඊයේ (08 දා) උදේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසූවා.

සභාපතිවරයා මේ බව පැවසුවේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව පිණිස යොදවන විශේෂ අවුරුදු බස්රථ සේවාව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී.

මෙම බස් සේවාව පිටකොටුව බැස්ටියන් මාවත, කඩවත, කඩුවෙල, පානදුර, කටුනායක, මාකුඹුර, පිළියන්දල, අවිස්සාවේල්ල,නුගේගොඩ යන බස් නැවතුම්පළවලින් ගමන් ආරම්භ කර මොනරාගල, ගාල්ල, හැටන්, ඇඹිලිපිටිය, රත්නපුර, මාතර, අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර, බදුල්ල, කතරගමයන නගර දක්වා ධාවනය කෙරෙන බවද ඒ මහතා පැවසූවා.

ගම්බිම් බලා යන මගී ජනතාවට නැවත කොළඹට පැමිණීමේදී ප්‍රවාහන පහසුකම් ජාතික ගමනාගමන කොමිසම හරහා ඒ ඒ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හරහා එක්ව සිදුකරන බවද ඒ මහතා පැවසූවා.

මගී ජනතාවගෙන් නියමිත ගාස්තුවට වඩා මුදල් අය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් 070 2860860 යන අංකයට වට්ස්ඇප් මගින් පැමිණිලි කළ හැකි බවද සභාපතිවරයා සඳහන් කළා.

එසේම මෙම අවුරුදු කාලය තුළ බස්රථ සුපරික්‍ෂාකාරී අන්දමින් පදවන ලෙසට බස්රථ රියැදුරන්ගෙන්ද, ගමන් ගන්නා මගී ජනතාව සමග මතවාද ඉදිරිපත් කරමින් ගැටුම් ඇති කර නොගන්නා ලෙස කොන්දොස්තර මහතුන්ගෙන්ද ඒ මහතා ඉල්ලීමක් කළා.

මෙම මාධ්‍ය හමුවේදී බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා, එම අධිකාරියේ කළමනාකාර (ධාවන) ජීවින්ද කීර්තිරත්න යන මහත්වරුන්ද අදහස් දැක්ව්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *