free web stats

සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමට බිය වන්න එපා

ජාතික පද්ධතියට සවි කර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස සිදුකරන ලද දැනුම්දීමට අනුව බොහෝ පිරිසක් ඊට යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ජාතික විදුලි පද්ධතිය නිරීක්ෂණය කිරීමේදි එය පැහැදිලි වන බවද එම මණ්ඩලය සඳහන් කළේය.

කෙසේ වෙතත් තවත් පිරිසක් මේ දක්වාත් සූර්ය පැනල ක්‍රියා විරහිත කර නොමැති අතර ඒවාද ඉක්මනින් ක්‍රියා විරහිත කිරීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් ද කළේය.

ඇතැම් පාරිභෝගිකයින් මෙම සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම කනගාටුවට කරුණක් බවද එම මණ්ඩලය පවසයි.

උත්සව සමයේ විදුලි ඉල්ලුම අඩු වී ඇති බැවින් පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය පැනල තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය බල ශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව අද දිනයේ සිට එළැඹෙන අප්‍රේල් 21 වැනිදා දක්වා දින 09ක කාලයක් පස්වරු 3.00 දක්වා සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් කරන ලෙස විදුලි බල මණ්ඩලය අදාළ පාර්ශ්වයන් වෙත දැනුම්දීමට පියවර ගත්තේය.

විදුලි බල මණ්ඩලය පැවසුවේ විදුලි ඉල්ලුම අඩු වීම හේතුවෙන් ජාතික පද්ධතියට එක් කෙරෙන් ඉහළ විචල්‍යයතාවයකින් යුත් පුනර්ජනනීය බලශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ලෙස ආතතියක් ඇති කරන බවය.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීම සඳහා ඇතැම් පාරිභෝගිකයින් බියක් දක්වන බවය.

එය ක්‍රියා විරහිත කිරීමට කිසිදු ආකාරයකින් බියක් ඇති කරගත යුතු කාරණයක් නොවන අතර සූර්ය පැනල අඛණ්ඩව ජාතික පද්ධතියට සවි කර තිබීම බිය දනවක සුළු කාරණයක් බව එම මණ්ඩලය සඳහන් කළේය.

විදුලි ඉල්ලුම අඩුවන අවස්ථාවලදී සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ පමණක් සිදු නොවන කරුණක් බව පෙන්වා දෙන ලංකා විදුලි බල මණ්ඩලය එය ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවලද සිදු කරන කටයුත්තක් බව සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *