හල්ලොලුවට වෙඩ් තැබීමේ සිද්ධියේ පරීක්ෂණ CCDයට
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ CCDයට..!
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ඔලුව ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දී තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළා.
තුසිත හල්ඔලුව මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාරහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.
මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනා අහසට වෙඩි තබා ඇති අතර මෝටර් රථය නතර කළ පසු ඉදිරිපස වීදුරුවට ද වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.
එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ තුසිත හල්ඔලුවගේ නීතීඥවරයා සහ රියදුරු ද සිට ඇති අතර වෙඩික්කරුවන් විසින් ඔවුන්ට පහරදීමක් ද සිදුකර ඇති බව සඳහන්ය.
පහරකෑමෙන් තුවාල ලැබූ තුසිත හල්ඔලුව සහ ඔහුගේ නීතීඥවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩික්කරුවන් විසින් තුසිත හල්ඔලුවගේ මෝටර් රථයේ තිබූ ලිපි ගොනුවක් ද රැගෙන පළාගොස් ඇති බව පොලීසිය පැවසී්‍ය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වූ තුසිත හල්ඔලුව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් පසුගිය 15 වන දින තුසිත හලුඔලුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැය හතක ප්‍රකාශයක් ද ලබාදෙනු ලැබීය.