හිටපු මැති ඇමැතින් 12කගේ ගිණුම් පරීක්ෂාවට CIDයට අවසර
සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, ජනතා අරමුදලින් අනුමත කරන ලද උපරිම ප්‍රමාණයට වඩා ජනපති අරමුදලේ, අරමුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයට අදාළව රාජිත සේනාරත්න, දයාසිරි ජයසේකර, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු හිටපු මැති ඇමැතිවරුන් 12 දෙනකුගේ ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකයට අවසර ලබා දුන්නාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් රාජ්‍ය බැංකුවක ගිණුම් පරීක්ෂා කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය කළාය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස අදාළ රාජ්‍ය බැංකුවට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් ද නිකුත් කළාය.
පොලිස්පතිවරයාට ලද තොරතුරක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසත් අවශ්‍ය වුවහොත් නියෝග අයැදින ලෙසත් කොටුව මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.
ජනාධිපති අරමුදලින් මුදල් ගැනීමේදී අක්‍රමිකතා සිදු කර ඇති බවට චෝදනා එල්ල වී ඇති මහජන නියෝජිතයන් 22 දෙනකු සම්බන්ධයෙන් මේ විමර්ශනය ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉකුත් අප්‍රේල් 30 වැනි දින වැඩිදුර වාර්තාවක් අධිකරණයට ගොනු කරනු ලැබීය. ඊට අදාළ තොරතුරු දෙන ලෙස පොලීසිය කළ ඉල්ලීමට අනුව රජයේ සහ පෞද්ගලික රෝහල් අධ්යක්ෂවරුන් පිරිසකට නියෝග ද නිකුත් කෙරිණි. මේ විමර්ශනයට සහාය වන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරියට ද නියෝග නිකුත් කෙරිණි.
මේ මුදල් බැරවී ඇති ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
මෙම විසිදෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙන්නේ අරමුදල අවභාවිත කළ 36 දෙනකු ගැන කළ පරීක්ෂණවලින් අනතුරුවය.
මහජන නියෝජිතයන් වන පී. හැරිසන්, පියසේන ගමගේ, සුමේධා ජයසේන, මනෝජ් සිරිසේන, පී. දයාරත්න, එස්.සී. මුතුකුමාරණ, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම, එස්.බී. නාවින්න, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුර දේවප්‍රිය, එස්.ඒ. ජගත් කුමාර, කේ.පී.එස්. කුමාරසිරි, ජයලත් ජයවර්ධන, නාමල් ගුණවර්ධන, ධර්මදාස බණ්ඩා, විදුර වික්‍රමනායක, විමලවීර දිසානායක, ලකී ජයවර්ධන, පී. චන්ද්‍රසේකරන්, ජෝන් අමරතුංග, ජෝසප් මයිකල් පෙරේරා, ටී.බී. ඒකනායක, ඩබ්.එම්.එස්. ෆොන්සේකා, ජයන්ත වීරසිංහ, ඇලෙක් අලුවිහාරේ, රංජිත් අලුවිහාරේ, රාජිත සේනාරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, රංජිත් සොයිසා, සහ දි.මු. ජයරත්න යන අය මෙම ලැයිස්තුවේ සඳහන් වේ. මේ අයගෙන් කිහිප දෙනකු මේ වන විට මියගොස් ඇත.
අරමුදලින් වැඩිම මුදල් ගත් පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇත්තේ දි.මු. ජයරත්න, රංජිත් සොයිසා, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න, ජයන්ත වීරසිංහ, ඩබ්.එම්.එස්. ෆොන්සේකා, ටී.බී. ඒකනායක, ජෝන් අමරතුංග, විමලවීර දිසානායක වන අතර මේ අයට අමතරව ජෝසප් මයිකල් පෙරේරා, ඇලෙක් අලුවිහාරේ, ලකී ජයවර්ධන, විදුර වික්‍රමනායක, එස්.ඒ. ජගත් කුමාර, ජයලත් ජයවර්ධන, නාමල් ගුණවර්ධන, ධර්මදාස බණ්ඩා, පී. චන්ද්‍රසේකරන්, කේ.පී.එස්. කුමාරසිරි සහ රංජිත් අලුවිහාරේ යන අයවළුන්ද සැලකිය යුතු මුදල් ප්‍රමාණයන් ගෙන ඇතැයි විමර්ශන මඟින් අනාවරණය වී තිබේ.