යෝෂිත රාජපක්ෂට මොකද වෙන්නේ
සිය වැටුපෙන් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 735කට ආසන්න වත්කම් සහ දේපළවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂට පවරා ඇති නඩුවට අදාළව විත්තිය ඉල්ලා සිටින අමතර ලේඛන ලබා දිය හැකි බව නීතිපතිවරයා අධිකරණයට ඊයේ (28දා) දැනුම් දුන්නා.
ඇප මත මුදාහැර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් කොළඹ මහාධිකරණ විනිසුරු සහන් යාපා බණ්ඩාර මහතා ඉදිරියේ ඊයේ (28) නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් පැමිණිල්ල ලබා දෙන ලද ලේඛනවල අඩුපාඩු ඇති බව දන්වා සිටියා.
ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් විත්තිය ඉල්ලා සිටින ලේඛන මෙම නඩුවට ඍජුව සම්බන්ධ නොවන සීඑස්එන් විමර්ශනයකට අදාළ ඒවා බවත් කියා සිටියා.
එහෙත් විත්තියට ඒවා අවශ්‍ය නම් ලබාදිය හැකි බව දැනුම් දුන්නා.
ඒ අනුව එම විමර්ශනයට අදාළ පරිගණක උපාංග හා දත්ත පරිශීලනය කිරීමට විත්තියට ප්‍රවේශය ලබාදීමට පැමිණිල්ල එකඟ විය. මහාධිකරණ විනිසුරුවරයා ඒ සඳහා කැඳවීම් දිනයක් ලබා දුන්නා.
2012 වසරේ අගෝස්තු මස 01දා සහ 2013 වසරේ අගෝස්තු 29දා අතර කාලය තුළ දී රාජගිරියේ දී සහ බම්බලපිටියේ දී රුපියල් ලක්ෂ735කට ආසන්න මුදලක් උපයාගත් ආකාරය හෙළි කළ නොහැකිවීමේ චෝදනාව යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
නීති විරෝධී ක්‍රියාකාරකමකින් හෝ ක්‍රියාකාරකම් කිහිපයකින් ලද මුදල් ඍජුවම හෝ වක්‍ර ලෙස උපයාගත් මුදල් බව දැන දැනම නැතහොත් එසේ දැන ගැනීමට හේතු ඇතිව බැංකු ගිණුම් සහ ස්ථාවර තැන්පතුවල තැන්පත් කිරීම යටතේ චෝදනා නඟා තිබේ.
එමඟින් මුදල් විශුද්ධිකරණ වරද සිදු කිරීම හා එකී වරද සිදු කිරීමට අනුබලදීම සහ ක්‍රියා කිරීමට එකඟ වීමෙන් කුමන්ත්‍රණය කළ බව ද එකී කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් එම වරද සිදු කිරීම ඇතුළු අධිචෝදනා 3ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකර ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 113(අ) සමඟ කියවිය යුතු 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ නඩු පැවරීම සිදුකර තිබේ.
හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, දේශීය ආදායම් කොමසාරිස්වරයා, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, රජයේ ප්‍රධාන තක්සේරුකරු, දෙහිවල ගල්කිස්ස නාගරික කොමසාරිස්වරයා, කාල්ටන් ස්පෝර්ට්ස් සමාගමේ හිටපු පරිපාලන සහ මූල්‍ය අධ්යක්ෂවරයා, යසාරා අබේනායක නමැත්තියගේ මාමා කෙනකු වන වසන්ත ජයසූරිය ඇතුළු තැනැත්තන් 135 දෙනකු පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබේ. මෙයට අමතරව චුදිතයන්ගේ බැංකු ගිණුම් ඇතුළු ලේඛන 72ක් ඉදිරිපත් කර ඇත.
රත්මාලන, සිරිමල් උයන, කෙකටිය පෙදෙසේ අංක 4 ස්ථානයේ පිහිටි පර්චස් 31.05ක ඉඩම සහිත නිවස 2012 වසරේ ඔක්තෝම්බර් 09දා මිල දී ගැනීම සම්බන්ධයෙන් ද, 2013 වසරේ ජූනි 06 දින ගල්කිස්ස, බටහිර කවුඩාන, ගාලු පාරේ අංක 16 දරන ස්ථානයේ පිහිටි පර්චස් 12.04ක ඉඩම මිල දී ගැනීම සහ එදිනම ඉහත ලිපිනයේ පිහිටි තවත් පර්චස් 10ක් මිල දී ගැනීම සහ එම වසරේම අගෝස්තු 29දා ගල්කිස්ස, අත්තිඩිය උතුර, ගාලු පාර අංක 21 දරන ස්ථානයේ පිහිටි ඉඩම මිල දී ගැනීම සහ 2013 වසරේ ජූලි 18දා දෙහිවල, මිහිඳු මාවත සහ සංඝමිත්තා මාවත යන ස්ථාන දෙකේ පිහිටි අංක 163/7 හා 163/8 දරන දේපළ මිල දී ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
විත්තිකරුවන්ට එරෙහිව රුපියල් ලක්ෂ 600කට අසන්න මුදලක් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව යටතේ තවත් නඩුවක් මහාධිකරණය ඉදිරියේ විභාග වේ. ලබන සැප්තැම්බර් 22දා නඩුව යළි කැඳවයි.