ශකීබ් අල් හසන් ගෙන් වාර්තාවක්
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් විස්සයි20 ක්‍රිකට් පිටියේ කඩුලු 500 සීමාව පසු කිරීමට පසුගියදා සමත් විය. මේ සමඟ විස්සයි20 ක්‍රිකට් පිටියේ කඩුලු 500ක් දවා ගනිමින් ලකුණු 7000 සීමාව පසු කිරීමට සමත් වූ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ශකීබ් ක්‍රිකට් වාර්තා අතරට එක් විය.
මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඇන්ටිගුවා හා බාබුඩා ෆැල්කන්ස් පිල නියෝජන කරන ශකීබ් පසුගිය 24 වැනිදා පැවති තරගාවලියේ 11 වැනි තරගයේදී සාන්ත කිට්ස් පිලට එරෙහිව තරගයේදී මොහොමඩ් රිස්වාන්ගේ කඩුල්ල දවා ගනිමින් විස්සයි20 තරග බිමේ 500 වැනි කඩුල්ල සටහන් කරගත්තේය. එම තරගයේදී ඔහු කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
විස්සයි20 තරග බිමේ කඩුලු 500 සීමාව පසු කළ ලොව 5 වැනි ක්‍රීඩකයා ලෙස ශකීබ් වාර්තා අතරට එක් විය. රෂීඩ් ඛාන් (660), ඩ්වේන් බ්රාවෝ (631), සුනිල් නරේන් (590) සහ ඉම්රාන් තහීර් (554) සිටිති.
ලකුණු 7000ක් සමඟ කඩුලු 500ක් දවාගෙන ශකීබ් (7574) ඉදිරියෙන් පසු වෙද්දී ඔහුට පසුපසින් බ්රාවෝ කඩුලු 631ක් දවාගෙන සිටියත් රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6970කි. විස්සයි20 වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයන් අතර ඇන්ඩෘ රසල් (9361) ඉදිරියෙන් සිටියත් ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 487කි.
විස්සයි20 වැඩි කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවෙන් ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලසිත් මාලිංග වන අතර, ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 390කි. තිසර පෙරේරා කඩුලු 282ක් සහ ඉසුරු උදාන කඩුලු 237ක් මහීෂ් තීක්ෂණ කඩුලු 208ක් දවා ගනිමින් 200 සීමාව පසුකර තිබේ.