ගෝඨාභයගෙන් ප්‍රශ්න කරන්න සූදානම්
ගෝල්ෆේස් අරගලයට 2022 මැයි 09 වැනිදා කළ පහරදීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටිනවා.
මේ දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් නැවත පැමිණි වහාම ඔහුගෙන් ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
අරලියගහ මන්දිරයේ සිට සංවිධානය වෙමින් දේශපාලනඥයන් පිරිසක් පෙළපාළියකින් පැමිණ ගෝල්ෆේස් අරගල භූමියේ රැඳී සිටි පිරිසට කළ එම පහරදීම වැළැක්වීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ද ගත්තා. රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු මේ වන විට සිටින්නේ ඇප මතයි.
අරලියගහ මන්දිරයට එදින රැස්වූ දේශපාලනඥයන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පෙළපාළියකින් ගාලුමුවදොර ඔස්සේ ජනාධිපති මන්දිරයට ගමන් කිරීමේ සූදානමක් ඇති බවත් එසේ ගමන් කළහොත් ගැටුමක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් සඳහන් කරමින් බුද්ධි අංශ කල්තියා බලධාරීන්ට වාර්තා කර තිබුණා.
ඒ අනුව තමා කිසිදු පෙළපාළියකට ගමන් කිරීමට ඉඩ නොදෙන ලෙස පොලීසියට උපදෙස් ලබාදී තිබුණු බව එවකට පොලිස්පතිවරයාව සිටි සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබෙනවා.
පහරදීම සිදුවූ දින උදෑසන දවසේ තත්ත්ව වාර්තාව ගැන විමසීමේදී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අමතමින්, ජනාධිපතිට සංදේශයක් ලබාදීමට පිරිසක් අරලියගහ මන්දිරය වෙත ගමන් කිරීමට අවසර ඉල්ලා ඇති බවත්, ගංගාරාමය පැත්තෙන් ඇති මාර්ගයෙන් ගෝල්ෆේස් අරගල භූමිය මඟහැර ඔවුන්ට පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවසර ලබාදුන් බවත් දේශබන්දු තෙන්නකෝන් පැවසූ බව සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබේ.
එහිදී ද තමා දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් ලබාදුන්නේ එසේ ගාලු මුවදොර මාර්ගය මඟහැර පෙළපාළියකින් ගමන් කළ ද ගැටුමක් ඇති විය හැකි බැවින් පෙළපාළිය ගමන් කිරීමට ඉඩ නොදෙන ලෙස බව ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇත.
පෙළපාළියකින් ගමන් කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන ලෙසට එවකට සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් දැනුම්දී තිබියදීත් අරලියගහ මන්දිරයේ සිට පෙළපාළියකින් පැමිණි පිරිසක් ගාලු මුවදොර අරගල භූමියේ රැඳී සිටි පිරිසට පහරදී තිබුණා.
ගාලු මුවදොර අරගල භූමියට පෙළපාළියකින් පිරිස ගමන් කරන අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා ද දේශපාලනඥයන් සමඟ කථාබහක නිරත වෙමින් ඉදිරියට ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසූවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගනු ලබන්නේ අරගල භූමියට පහරදීම වැළැක්වීමට නිසි නියෝග ලබා නොදීම සම්බන්ධයෙනි. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන්ට ඉහළ නිලධාරීන්ගෙන් නිසි උපදෙස් නොලැබුණු බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට සූදානම් වන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශ මඟින් කියැවෙන කාරණා ඇතුළු විමර්ශන තොරතුරු සම්බන්ධයෙන් බව ආරංචි මාර්ග අනාවරණය කළා.