free web stats

රාජිතට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව දැනුම්දෙයි

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම ඊයේ (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම නඩුකරය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවා තිබුණි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය නම් කර තිබේ.

ඔවුන් මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදාහැර ඇත.

මෙම නඩුකරය යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *