free web stats

ජලාශ ආශ්‍රිතව විදුලි යාත්‍රා සේවාවක් ඇරඹීමට සැළසුම්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය, මාලදිවයින, නේපාලය යන රාජ්‍යයන්හි ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මහතා අතර රාජ්‍ය තාන්ත්‍රික හමුවක් පසුගියදා (02) බත්තරමුල්ල, කොස්වත්ත, ‘මග නැගුම මහමැදුර’ හි පිහිටි මහාමාර්ග අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්ව්ය.

විශිෂ්ට ජන වරමකින් බලයට පත් වත්මන් රජය ගෙනයන විනිවිදභාවයෙන් යුතු, අදූෂිත රාජ්‍ය පාලනය තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සහ ඉදිරි කාලයේ මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳ ස්වීඩන් තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා.

මෙරට ජලාශ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති, සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාකරන යාත්‍රා සේවාවක් රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණා.

ඊට අදාල ව්‍යාපෘති සැලැස්ම පිළිබඳ තානපතිවරයා අමාත්‍යවරයාට කරුණු දැක්වීය.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විධිමත් සමීක්‍ෂණයකින් හා අධ්‍යයනයකින් අනතුරුව ලංකාවේ පිහිටි දූපත්වල ජීවත්වන ජනතාවට යාත්‍රා මගින් ගමනාගමන පහසුකම් සැපයීම වෙනුවෙන් මෙම සේවාව ලබාගැනීමටත්, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට මෙම සේවාව යොදාගැනීම පිළිබඳවත් අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.

පවතින ක්‍රමවේදයට අනුකූලව වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අදාල නිර්දේශයන් සහිතව මෙය ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය පුළුල් වශයෙන් ක්‍රියාත්මක කිරීමට අමතරව ස්වභාවික වරායක් වූ ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයත් මෙරට පොදු ප්‍රවාහනය ආරක්‍ෂිත, නවීන තාක්‍ෂණය යොදා ගනිමින් වර්ධනය කිරීම පිළිබඳවත්, රජයේ තිරසර සංවර්ධන ජාතික වැඩසටහන පිළිබඳවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.

එමෙන් ම ජන අනුමැතිය ලැබූ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමේදී සැමට සමානාත්මතාවයෙන් දිවයිනේ සෑම පළාතකම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට ස්වීඩන් රජයේ වෙළඳ ආයෝජන කවුන්සිලයේ දකුණු ආසියානු කලාපීය නියෝජිත සොෆියා හොග්මන් මිය, ශ්‍රී ලංකාවේ ස්වීඩන් කොන්සියුලර් ජෙනරල් සංජය කුලතුංග මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *