හිටපු ජනපති මහින්ද සිටි විජේරාම නිවසේ භාණ්ඩ ගැන ගැටලුවක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටි විජේරාම මාවතේ නිල නිවසේ ඇති භාණ්ඩ ඔහුට අයත් පෞද්ගලික භාණ්ඩ ද නැතිනම් රජයට අයත් භාණ්ඩ ද යන්න වෙන්කර හඳුනාගැනීමේ ගැටලුවක් මතුවී ඇති බව වාර්තා වෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් එම නිවස යළි භාර ගැනීමට යාමේදී මෙම ගැටලුකාරී තත්වය හට ගෙන තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය භාණ්ඩ බාරගැනීමට ගිය නිලධාරින් ට දන්වා ඇත්තේ මෙහි අරලියගහ මන්දිරයෙන් සහ ජනාධිපති මන්දිරයෙන් ගෙනා භාණ්ඩ ඇති අතර ඒවා වෙන්කර ඉවත්කර ගන්නා ලෙසයි.
එවිට ඔවුන්ට සිය පෞද්ගලික භාණ්ඩ හඳුනාගෙන ඉවත් කළ හැකි බවද රාජපක්ෂ පාර්ශවය පෙන්වා දී ඇතැයි වාර්තා වෙනවා.
කෙසේවෙතත්, අරලියගහ මන්දිරයෙන් හෝ ජනාධිපති මන්දිරයෙන් භාණ්ඩ විජේරාම මාවතේ නිල නිවසට රැගෙන ගෙන ගිය බව දැක්වෙන නිල ලේඛන නොමැති බවද වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 07 විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසින් සැප්තැම්බර් 11 වැනිදා නික්ම ගියේ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බහුතර ඡන්දයෙන් සම්මත වීමත් සමඟිනි.
සැප්තැම්බර් 10වැනිදා ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, ඒ වන විට රජයේ නිල නිවාස භාවිත කරමින් සිටින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එම නිවෙස්වලින් ඉවත් වීමට සිදුවිය.
හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව, හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්, හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප යන වරප්‍රසාද මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඊට පසුව තවදුරටත් නොසැපයිය යුතු බව හෝ නොගෙවිය යුතු බව පනතෙහි දැක්වේ.

