ගාසා සාම සමුළුව අද ඊජිප්තුවේදී
ගාසා යුද්ධය නිමා කිරීමේ අරමුණ ඇතිව රටවල් 20කට වැඩි සංඛ්‍යාවක රාජ්‍ය නායකයන් අද (13) ඊජිප්තු රතු මුහුදේ පිහිටි ෂාම් අල් ශෙයික් නිවාඩු නිකේතනයේදී ගාසා සාම සමුළුවට සහභාගි වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසිගේ ප්‍රධානත්වයෙන් අද පැවත්වෙන මේ සමුළුවේදී ගාසා තීරයේ සටන් විරාමය තුළින් මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාවර කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිතව ඇතැයි ද කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවනු ඇතැයි ද ඊජිප්තුවේ ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.
ගාසා සාම සමුළුව සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, තුර්කි ජනාධිපති රිසෙප් තයිබ්, බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රිමත් කීර් ස්ටාර්මර්, ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චෙස්, ඉතාලි අගමැති ජෝර්ජියා මෙලොනි, යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් සහ ජෝර්දාන රජු දෙවැනි අබ්දුල්ලා ඇතුළු රාජ්‍ය නායකයෝ රැසක් සහභාගි වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මීට අමතරව ජර්මනිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය, සවුදි අරාබිය, පාකිස්තානය සහ ඉන්දුනීසියාව නියෝජනය කරමින් රාජ්‍ය නායකයන් හෝ විදේශ අමාත්‍යවරුන් ද එක්වීමට නියමිත අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ද සමුළුව සඳහා සහභාගි වීමට ඇරියුම් ලැබී ඇතැයි වාර්තා වේ.
ගාසා සාම සමුළුවට පැමිණීමට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ කෙටි සංචාරයක නිරතවීමට නියමිතව ඇති අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එම සමුළුවට සහභාගි වීම ඊයේ පස්වරුව වනවිටත් තහවුරු වී නොතිබුණු බව ද වාර්තා වේ.
හමාස් සංවිධානය සමුළුවට එක් නොවන බව මීට පෙර තහවුරු කර තිබූ බව ද වාර්තා වේ.

