වෘත්තීමය වගකීම නිසි ලෙස ඉටු කරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍යයි
සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවත්, අභිමානවත් සහ ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම වෘත්තීමයභාවය අඛණ්ඩව ආරක්ෂා කර ගත් හමුදාවක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ජනාධිපති වර්ණ ප්රදානය සහ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම වෙනුවෙන් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේදී අද (18) පෙරවරුවේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.
මුහුදු මාර්ගයෙන් සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ක්‍රියාකාරකම් අවේක්ෂණය කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරී ඇති කාර්යභාරයද මෙහිදි සිහිපත් කළ ජනාධිපතිවරයා, ආපදා අවස්ථාවලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබා දෙන පුළුල් දායකත්වයද ඇගයීමට ලක් කළා.
‘සුරකිමු ලකඹර’ තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලාංකේය නිල් ගුවන සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 03 සමුද්‍රීය බලගණය මාතෘ භූමියේ ආරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව, ක්‍රියාන්විත විශිෂ්ටත්වය සහ මවුබිම ආරක්ෂා කිරීම පිළිබඳ අඛණ්ඩ කැපවීම අගය කරමින් ජනාධිපති වර්ණ ප්රදානය සිදු කෙරුණා.
ලාංකීය ගුවන සුරකිමින් දේශයේ ස්වෛරීත්වය ආරක්ෂා කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයෙකු සාමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක් වූ අංක 66, 67 සහ 68 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව සහ 20 වන කෙඩෙට් නිලධාරිනී පාඨමාලාව හැදැරූ නිලධාරීන් නිලධාරිනියන් අධිකාරියට පත් කිරීම මෙන්ම අංක 103 වන පියාසර කෙඩෙට් නිලධාරි පාඨාමාලව හැදෑරූ නිලධාරීන් හට පියසාර නිල ලාංඡන පැලඳ වීම මෙහිදී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

