මාලිමාවට සිර ගෙදර වාට්ටුවක් වෙන් කරන්න වේවි
වැලිකඩ සිරගෙදර එක වාට්ටුවක්ම 2029දී මාලිමාවට වෙන්කිරීමට වේවි යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඒ මහතා මෙසේ පැවසුවේ එම පක්ෂ කාර්යාලයේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසුවා.
“මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ලැබෙනවා. ඒ මුදල දෙන්නේ කාර්යාලයක් නඩත්තු කරන්න. ගොඩනැඟිලි කුලිය, විදුලි බිල්, ජල බිල්, පිරිසුදු කිරීමේ වියදම්, උපකරණ වියදම් වගේ දේවලටයි ඒ රුපියල් ලක්ෂය දෙන්නේ. මන්ත්‍රීවරුන්ට මාසයකට රුපියල් ලක්ෂයක විතර ඉන්ධන දීමනාවක් දෙන්නේ වාහනයට ඉන්ධන ගහගෙන දිස්ත්‍රික්කය වටා සංචාරය කරමින් ජනතා ප්‍රශ්න හඳුනාගන්න සහ විසඳන්න. ඒ වගේම මන්ත්‍රීවරුන්ට රුපියල් 50,000ක දුරකතන දීමනාවක් දෙනවා. ඒ ගෙදර සහ කාර්යාලයේ දුරකතන බිල්, ජංගම දුරකතන බිල්, අන්තර්ජාල සේවා බිල් වගේ වියදම් දරන්න. ඒ මුදල දෙන්නේ ප්‍රශ්නයක් වුණාම නිලධාරීන්ට කතා කර මහජන ගැටලු විසඳන්න. අන්තර්ජාලය හරහා රටේ සහ ලෝකයේ වෙන දේවල් ගැන දැනුම්වත් වෙන්න. ඒවා අවභාවිත වූවොත් 2029දී වැලිකඩ සිරගෙදර එක වාට්ටුවක්ම මාලිමාවට වෙන් කරන්න වේවි.
ලබන මාසයේ මාලිමා ආණ්ඩුවේ නායකයන් පරණ අල්මාරියක මුල්ලක තිබෙන රතු කමිස, රතු සාරි, රතු තොප්පි එළියට අරගෙන ඉල් විරු සමරුව කියලා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සමරන්න නියමිතයි. රෝහණ විජේවීර මහතා ජවිපෙ නිර්මාතෘ වුණාට මාලිමාවේ නිර්මාතෘ නොවේ. මාලිමාව බලයට ආවේ විජේවීර කියා දුන් අධිරාජ්‍ය විරෝධි දේශප්‍රේමි ධනපති විරෝධි පාර දිගේ ගමන් කර නොවේ. අධිරාජ්‍ය විරෝධි අරගලය, අයි.එම්.එෆ්. විරෝධය, ඉන්දියානු විරෝධය, අමෙරිකානු විරෝධය, ධනපති විරෝධය වගේ විජේවීර සහෝදරයාගේ සටන් පාඨ පාවිච්චි කරලත් නොවේ. මාලිමාව බලයට ආවේ අමෙරිකානු විරෝධය වෙනුවට ජුලී චංග් නෝනාගේ සුවච කීකරු ගෝලයෙක් වෙලා.”

