අභ්‍යවකාශ සුන්බුන් වැදීමෙන් ගුවන්යානයකට වෙන්න ගිය දේ
අමෙරිකාවේ ඩෙන්වර් කොලොරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් නුවර සිට ලොස් ඇන්ජලීස් බලා පියාසර කළ යුනයිටඩ් ගුවන් සමාගමට අයත් යානයක සැක කටයුතු අභ්‍යාවකාශ සුන්බුන් ගැටීම හේතුවෙන් සෝල්ට් ලේක් සිටි නගරයට හදිසියේ ගොඩබස්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගුවන් යානය අඩි 36,000ක් ගුවනේදී එම අනතුර සිදුවී ඇති අතර, එවැනි ඉහළ අවකාශයකදී කුරුල්ලන් හෝ හිම කැට ගැටීමක් සිදු නොවන බැවින් අනතුරට හේතුව අභ්‍යවකාශ සුන්බුන් විය හැකි බවට අනුමාන කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
සැක සහිත අභ්‍යවකාශ සුන්බුන් ගැටීමෙන් නියමු කුටියේ වීදුරු කවුළුව බිඳී එහි වීදුරු කැබල්ලක් වැදීමෙන් ගුවන් නියමුවකුගේ අතක් කැපී ගොස් ඇතැයි ද යුනයිටඩ් ගුවන්සේවා සමාගම නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙවැනි අනතුරක් සිදුවීමේ සම්භාවිතාව ට්‍රිලියනයකට එකක් පමණක් බවත්, බොහෝ විට එවැනි අනතුරක් සිදුවූ පළමු අවස්ථාව මෙය විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වන බව වාර්තා වේ.
අනතුරින් ගුවන්යානයේ කිසිදු මගියකුට අනතුරක් සිදුවී නැති අතර, යානය සෝල්ට් ලේක් සිටි නගරයට ගොඩබැස්වීමෙන් පසු එහි සිටි මගීන් වෙනත් ගුවන්යානයකින් ලොස් ඇන්ජලීස් වෙත පිටත් කළ බව ද ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව වාර්තා වෙනවා.
අනතුර සම්බන්ධව අමෙරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

